Showing posts with label Article. Show all posts
Showing posts with label Article. Show all posts

චිලී ශිෂ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සමග කතාබහක්

චිලී ශිෂ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු ඩැනියෙල් ඇන්ඩ්‍රේඩ් පසුගියදා මාධ්‍ය සාකච්ඡාව කැදවමින් ප්‍රකාශ කලේ ශිෂ්‍යයන් හට පණවා ඇති ශිෂ්‍ය ණය ක්‍රමය අහෝසි කර දමන ලෙසටයි. ඔවුන් මේ සම්බන්ධයෙන් දැඩිව ආණ්ඩුව සහ බැංකු සමග ගැටෙන අතර ඔවුන්ගේ ඉල්ලීම් පසුගිය දිනෙක චිලි අධ්‍යාපන ඇමති ඇඩ්‍රියානා ඩෙල්පියානෝ හමුවී ඉදිරිපත් කලා.ඉන්පසු ඔවුන් ලබාදුන් මාධ්‍ය සාකච්ඡාවේ සිංහල අනුවාදයයි මේ.

චිලීයේ කොපමණ විශ්ව විද්‍යාල සිසුන් ප්‍රමාණයක් දැනට ශිෂ්‍ය ණය ලබාගෙන තියෙනවා ද??
දැනට ලක්ශ 5කට අධික ප්‍රමාණයක් පෞද්ගලික බැංකු මැදිහත් වී ලබාදෙන CAE කියන ණය අරන් තියෙනවා . ලක්ශ 9ක පමණ සිසුන් පිරිසක් සමස්තයක් වශයෙන් ණය ලබාගෙන තිබෙනවා. අගයක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ප්‍රමාණයකින් ශිෂ්‍යයන් ණය කරුවන් බවට පත් වී තිබෙනවා.

ඇයි ඔබලා මේ ණය ක්‍රමය අහෝසි කරන්න කියලා ඉල්ලන්නේ??
අපි නිශ්චිතවම කියනවා මේ ශිෂ්‍ය ණය ක්‍රම ලබා දීලා තියෙන්නේ ජනතාවට ශිෂ්‍යයන්ට තියෙන ආදරේකට නෙමෙයි. මේක බැංකු සහ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක්ට ලාභ ලබාගන්න හදපු ව්‍යාපෘතියක්. මේ ක්‍රමය යටතේ යහපතක් වෙන්නේ ඉතාමත් සුලු පිරිසකට. මෙය මහජන ප්‍රතිපත්තියක් මගින් අහෝසි කර දැමිය යුතුයි.

සිසුන් මේ සදහා ගේන යෝජනා මොනවද?
ඔව් අපි ඒ ගැන ගැඹුරින් සිතා බැලුවා. පලමුව ගෙවීමට නොහැකිව එක්‍ රැස් වී ඇති රජය මගින් ලබාදුන් ණය ගෙවීම අහෝසි කර දැමිය යුතුයි. ඉන්පසු ශිෂ්‍ය ණය සදහා ගෙවීමට ඇති ණය පොලිය අහෝසි කර දැමිය යුතුයි. සමහර CAE ණය ලබාගත් සිසුන් තවම අධ්‍යාපන කටයුතු අවසන් කරලා නෑ. සමහරු පශ්චාත් උපාධි හදාරනවා. ඒ අයට ගෙවීමට ඇති ණය ප්‍රමාණයන් අහෝසි කර දැමිය යුතුයි .

මෙම වැඩපිලිවෙලේ කාලරාමුව කොහොමද??
අපිට පැති කීපයක් තියෙනවා බලන්න. අපි දැනට CAE ණය ක්‍රමය අහෝසි කරන්න වැඩපිලිවෙලක් ගෙනයනවා. ඒකේදි අපි ජනතාව ආමන්ත්‍රණය කරලා පැහැදිලි කරලා දෙනවා මෙම ජනතා විරෝධි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නිසා ඇති වී තිබෙන ප්‍රතිවිපාක පිලිබඳව.  අපි ප්‍රතිපත්ති සම්පාදනය කරලා අවසන්. නමුත් නීතිය පැත්තෙන් සොයාබැලීම මේ දිනවල සොයාබලමින් යනවා. සතියක් වැනි කාලයක් තුල අපි ඒ පිලිබඳ දැනුමෙන් සන්නද්ධ වෙනවා.

සිසුවන් මෙම CAE ණය ක්‍රමය ලබාගැනීමේදී එම පෞද්ගලික බැංකු සමග කොන්ත්‍රාත්තුව කට අත්සන් තබනවා. දැන් ඒක අහෝසි කරන්න කියන දේ යුක්ති සහගත්ද?
අපේ යෝජනා 2ක් තියෙනවා. ශිෂ්‍ය ණය නොගෙවීම සදහා යාන්ත්‍රණ තියෙනවා . අපි ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරලත් තියෙනවා . ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය නොමිලේ බදු ගෙවන ජනතාව වෙත ලබාදිය යුතුයි. ඒක ජනතාවගේ අයිතියක්. මීට අමතරව රජයේ අරමුදල තිබෙනවා ශිෂ්‍ය ණය ලබා දීමට. මේක ජනපදයට ණයයි. මේ අරමුදල සම්පූර්ණයෙන් අහෝසි කරදැමිය යුතුයි. අපිට ඕනේ නොමිලේ අධ්‍යාපනය. අපිට ඕනේ නෑ බැංකු වලට ණය ගෙව ගෙවා ඉන්න.

ආර්ථික විශ්ලේෂකයන් කියනවා ශිෂ්‍ය ණය ක්‍රම නැති කරන්න බෑ. එහෙම උනොත් ආණ්ඩුව ට විශාල මුදලක් දරන්න වෙනවා කියලා. ඒ ගැන ඔබ මොකද කියන්නේ. ?
මේකට ආණ්ඩුව මැදිහත් වෙලා අධ්‍යාපනය විකුනන ප්‍රතිපත්තිය හකුලාගත යුතුයි. මෙතන ඉන්නවා ශිෂ්‍යයන් ලක්ශ ගණනින් ණය කරුවන් බවට පත් කරපු පිරිසක්. ඒකේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි .
ඒක හරියට බැංකුවක් බංකොලොත් වුනාම ඒකේ වගකීම රජය ගන්නවා වගේ.

ඒ කිව්වේ??
මෙහෙමයි බැංකුවක් බංකොලොත් වුනාම ඒකේ වගකීම රජයට අරගෙන ඒක ඒකෙන් අවතැන් වූ අයට වන්දි ලබාදෙනවා. ඒ වගේ මෙතනදී ජනතාව බංකොලොත් වෙලා ඉන්නේ ආණ්ඩුවේ මේ ජනතා විරෝධි ප්‍රතිපත්ති නිසා. එතකොට මේ ප්‍රතිපත්තිය ගෙනාපු ආණ්ඩුව මැදිහත් වෙලා මේකට විසදුම් දෙන්න. අපි මේ සම්බන්ධයෙන් නීතිමය පැත්ත සොයාබලනවා.

ඔයාලා ඉදිරිපත් කරන යෝජනාවේ ප්‍රතිපත්ති මොනවද?
අපේ ප්‍රතිපත්තිය තමා අධ්‍යාපනය අයිතියක්. ඒක විකුණන්න බෑ කියන එක. ඒ නිසා තමයි අපි මේ ණය උගුලෙන් ගැලවෙන්න හදන්නේ. මේ ණය ගෙවාගන්න බැරුව අධ්‍යාපනය අතඇරලා ගිය ශිෂ්‍යයන් ඉන්නවා. ඔවුන්ගේ තත්ත්වය දුක්ඛිත යි.

මෙමගින් කියන්නේ පෞද්ගලික හො රාජ්‍ය අංශයෙන් ලබාදෙන ණය ක්‍රමය අහෝසි කල යුතුයි කියලද?
ඔව් අපි ආන්ඩුවට කිය්නවා මේ ණය පොලි වලින් ලැබෙන මුදල් ඉතුරුවෙලා තියෙනවා කියන ඉතා සීමිත පාසල් ගණනක් නඩත්තු කරනවා කියන බොරුව කියන එක නවත්තන්න . නමුත් පාසලේ සිට විශ්ව විද්‍යාලයට යන සංක්‍රාන්ති කාල වලදී ශිෂ්‍ය ආධාර දීම ගැටලුවක් නෑ. නමුත් තාවකාලික වියයුතුයි.

ඔය කියන සංක්‍රාන්ති කාලසීමාව කොපමණ කාලයක් වියයුතුද?
අධ්‍යාපනය සදහා මුදල් වෙන් විය යුත්තේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන්. අද වෙලා තියෙන්නේ සිසුන් CAE ණය ලබාගන්නවා පාසල් යද්දී. ඒක ගෙවන්නවෙනවා විශ්ව විද්‍යාලයට යද්දී. මේක කරන්න පුලුවන් වැඩක් නෙමේ. මේකට අධ්‍යාපන ක්ෂේත්‍රය ජනතා මුදලින් නඩත්තු වෙන ක්‍රමයකට සාදා නොමිලේ අධ්‍යාපනය ලබාදිය යුතුයි. අපි කියන්නේ මේ බැංකු වල මැදිහත් වීම් ඉවත් කරන්න කියලා. මේ දවස්වල ආණ්ඩුව ආයෝජනය කරන්නේ ජනතාවට කිසිම යහපතක් වෙන්නේ නැති ව්‍යාපෘති වලට. බැංකු වලින් ලබාදුන් ණය වලින් 46%ක් ආණ්ඩුව බැංකු වලට ගෙවනවා. මේක කූට උපක්‍රමයක් . බැංකු ජනතා මුදාල් කෙලින්මා කොල්ල කාලා වක්‍රාකාරව රජයේ ජනතා මුදල් ටිකා කොල්ල කනවා. මේකෙන් වෙන්නේ ජනතාව මත තව බදු බර පැටවෙන එක විතරයි.

එම CAE ණය ලබාදෙන බැංකු මේ සම්බන්ධ කතා කරන්න සූදානම් වෙයිද? ඔබලා සූදානම්ද?
ශිෂ්‍ය ව්‍යාපාරය කවදාවත් සාකච්ඡා එපා කියලා නෑ. අපි සාකච්ඡා වලට සූදානම්. හැබැයි අතරමැදි විසදුම් නෑ.

Source - එකම ලොවක් එකම අරගලයක්

අද පැවැත්වෙන සයිටම් විරෝධී උද්ඝෝෂණයට ජනතා බලවේග සම්බන්ධවීම වැලැක්වීමට ගෙන යන ව්‍යාජ ප‍්‍රචාරයන් සම්බන්ධවයි.

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන මාලබේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු! යන සටන් පාඨය යටතේ 2017 මාර්තු 08 (අද) දින ප‍්‍රධාන මාවත් 4 ක් ඔස්සේ පාගමනින් කොළඹ දක්වා පැමිණ පැවැත්වීමට නියමිත සයිටම් විරෝධී ජනතා රැුලියට ජනතා බලවේග සම්බන්ධවීම වැලැක්වීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවි, FACEBOOK හා SMS පනිවිඩ හරහා ව්‍යාජ ප‍්‍රචාරක මෙහෙයුමක් දියත් වෙමින් ඇත.
එකී ප‍්‍රචාරයන්ට අනුව මුලින්ම ව්‍යාජ SMS  පණිවිඩයක් වෛද්‍යවරුන් හා සිසුන් අතරේ හුවමාරුකොට ඇති අතර එහි  ''

Ex-core decided not to attend 8th rally organized by inter university union. cz it consists of 10 demands like closing NSBN, not to take school like that. Nationalization only one of ten. our fight is for SAITM only. We cannot support for political agendas”
අන්තරය ම`ගින් 8වෙනිදා පවත්වන රැුලියට සම්බන්ධ නොවීමට විධායක කමිටුව තීරණය කරන ලදී. මක්නිසාද එය NSBM වසාදැමීම, පාසල් වලින් ඇතුළත්වීමේ ගාස්තු අයකිරීමට එරෙහි වීම, ආදී ඉල්ලීම් 10ක් ඇතුළත් බැවිනි. ජනසතු කිරීම මේ දහයෙන් එකක් පමණි. අපේ සටන සයිටම් වෙනුවෙන් පමණි. අපට දේශපාලන න්‍යායපත‍්‍ර වෙනුවෙන් සහය දැක්විය නොහැක යනුවෙන් එහි සඳහන්ව තිබුණි. මෙම SMS පණිවිඩය දවස පුරා සිසුන් අතරේ හුවමාරු කරමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අද පැවැත්වෙන ක‍්‍රියාමාර්ගයට සම්බන්ධ නොවන බවට කට කතා පතුරුවන ලද නමුත් පසුව අප වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන් විමසූවිට දැනගන්නට ලැබුණු පරිධි ඔවුන් එවැනි තීරණයක් ගෙන හෝ සිය සාමාජිකයින් අතරේ එවැනි පණිවිඩයක් බෙදාහැර හෝ නොතිබුණි. 
SMS පනිවිඩය මෙම මෙහෙයුමේ මූලික පියවර වූ අතර දෙවන පියවර කරළියට පැමිණෙමින් මාර්තු 7 වන දින එනම් ඊයේ හරියටම ප. ව. 05. 53 ට හෙට සයිටම් විරෝධී උද්ඝෝෂණයෙන් GMOA ඉවතට යන හිසින් LANKA TRUTH වෙබ් අඩවිය අපූරු හෙළිදරව්වක් කළේය. එම ප‍්‍රවෘත්තියට අනුව අද දවසේ පවත්වන සයිටම් විරෝධී උද්ඝෝෂණයට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සම්බන්ධ නොවීමට තීරණය කර ඇත. ඊට හේතුව සයිටම් විරෝධී උද්ඝෝෂණය පටුකරමින් සටන් පාඨ 10 ක් ඔස්සේ සයිටම් විරෝධය හැසිරවීමට අන්තරේ උත්සාහ කිරීමය.
මෙම වෙබ් අඩවියට අනුව සයිටම් ආයතනයට එරෙහිව ප‍්‍රබල සමාජ මතයක් ගොඩනැගී ඇති මොහොතක මෙම අරගලය තවත් සටන් ක‍්‍රියාමාර්ගයක් සම`ග මුහු කිරීමෙන් එයට ඇති වැදගත්කම ගිලිහීගොස් ඇති අතර එය වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය උද්ඝෝෂණයට සම්බන්ධ නොවීමට හේතුවී ඇත. නමුත් අප වෛද්‍ය නිළධාරින්ගේ සංගමයෙන් මේ පිළිබඳව විමසූ විට එවැනි කිසිදු තීරණයක් තම සංගමය විසින් ගෙන නොමැති බවත් උද්ඝෝෂණයට සිය නියෝජිතයින් සම්බන්ධවන බවත් එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා ප‍්‍රකාශ කළේය. වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට මෙකී ක‍්‍රියාමාර්ගය හා එහි සටන්පාඨ පිළිබඳව කිසියම් ගැට`එවක් වේ නම් සංගමයක් වශයෙන් ඔවුන්ට ඒ පිළිබඳව තීරණය කිරීමටත්, එම තීරණය විවෘතව සාකච්ඡුා කිරීමටත් ඇති අයිතියට බාදාකිරීමේ හැකියාවක් අපට නැත. නමුත් ඉතාමත් කණගාටුදායක කාරණය වන්නේ  වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය එවැනි තීරණයක් ගෙන නොමැති තත්ත්වයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ නිළ වෙබ් අඩවිය වන  LANKA TRUTH වෙබ් අඩවිය එවැනි ව්‍යාජ ප‍්‍රචාරයන් හරහා අපේක්ෂා කරනුයේ කුමක්ද යන්නයි. සයිටම් අරගලය ඉතාමත් තීරණාත්මක අවධියකට පැමිණ ඇති මේ මොහොතේ, සටන දුර්වල කිරීම හා සටන පිළිබඳ සමාජ විශ්වාසය බිඳවැට්ටවීම සඳහා මෙවැනි මෙහෙයුමක් දියත් කළේ  ආණ්ඩුව නම් අපට හිත හදාගන්නට තිබුණි. එහෙත් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයද නියෝජනය කරමින් එකම වේදිකාව සිට සටන් කළ සටන් ස`ගයකු මෙවැනි පහත් තත්ත්වයකට ඇදවැටුණු විට එය තේරුම්ගන්නේ කෙසේද?  
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩය යනු ප‍්‍රශ්නයෙන් ප‍්‍රශ්නයට පනිමින් පටු දේශපාලන වාසි තකා මාධ්‍ය සංදර්ශන පවත්වන වර්ගයේ ව්‍යාපාරයක් නොව සැබෑ ජනතා ප‍්‍රශ්න හඳුනාගනිමින් ඒවා විසඳාගැනීම සඳහා ජයග‍්‍රහණය දක්වා කුමන දුෂ්කර කොන්දේසියක් යටතේ වුවද නොසැලී අඛණ්ඩව සටන් වදින සමාජ ව්‍යාපාරයකි. එය දශක ගණනක ඉතිහාසයක් පුරා බොහෝ කැපකිරීම් මධ්‍යයේ තහවුරු කොට ඇති සත්‍යයයි. මෙම වෙබ් අඩවියම පවසන ආකාරයට සයිටම් ආයතනයට එරෙහිව ප‍්‍රබල සමාජ මතයක් ගොඩනැගී ඇත්තේ කුමන හෝ හාස්කමක ප‍්‍රතිඵළයක් නිසා නොව මෙම ආයතනය ආරම්භයේ පටන්ම ක‍්‍රමිකව හා අඛණ්ඩව ගෙන ආ සටන් ක‍්‍රියාමාර්ගයන්හි ප‍්‍රතිඵලයක් ලෙසය. මුල්කාලීනව කිසිදු සමාජ බලවේගයක් සයිටම් ආයතනයට එරෙහිව පෙනී නොසිටින විටදීද අප එතැන් සිට මේ දක්වා කළ සෑම අරගලයදීම සයිටම් විරෝධී සටන්පාඨයද රැුගෙන ආවේ කිසිදු අවිශ්වාසයකින් තොරව අද නිර්මාණයවන තත්ත්වය පිළිබඳව වූ පුරෝකතනයන් උඩය. පෞද්ගලික විශ්වවිද්‍යාලපනතට එරෙහි අරගලය, ශිෂ්‍ය මර්දනයට එරෙහි අරගලය, සම සෞඛ්‍ය අරගලය, මහපොළ ශිෂ්‍යාධාර හා සුභසාධන ඉල්ලීම් මුල්කරගත් අරගල ආදී මේ සෑම සියලූ අරගලයකදීම අප එකී අරගලවල ප‍්‍රධාන සටන්පාඨයට අමතරව පැවති අවශේෂ සටන්පාඨ අතර අපි කිසිඳු දෙගිඩියාවකින් තොරව සයිටම් සටන්පාඨයද තැබීමු. ඒ සෑම අරගලයක්ම අද වන විට අප ජයග‍්‍රහණය කර ඇති අතර එකී කිසිදු අරගලයකදී සයිටම් සටන්පාඨය ඊට බාදාවක් වුයේ නැත. සයිටම් සටන්පාඨයද එකී අරගලවලදී රැුගෙන ඒමෙන් එකී අරගලයන්ට පාඩුවක් සිදු නොවූවා පමණක් නොව සයිටම් විරෝධී මහා පවුර නිර්මාණය කිරීමේ මුල්ගල්බවට එකී අවස්ථා පත්කර ගැනීමේ අපගේ අභිලාෂයද යථාර්තයක්ෟ විය.  ඒ නිසා මේමොහොතේද අරගලයේ සෑබෑකොටස් කරුවන්වන සහෝදර බලවේගයන්ට කීමට ඇත්තේ ව්‍යාජ ප‍්‍රචාරයන්ට නොරැුවටී අප මත විශ්වාසය තබන ලෙසයි. ඔබ තබන ඒ විශ්වාසය පිළිබඳව බිය නොවන්න...එය මීට පෙර සටන්වලදී සිදුවූ පරිධිම සයිටම් විරෝධී අරගලය ජයග‍්‍රහණයෙන් පසුද මැනවින් ඔප්පු වනු ඇත.
මෙම අරගලය තුළ ප‍්‍රධාන ඉල්ලීම සයිටම් වසා දැමීම බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් අධ්‍යාපනට අදාල සියලූ ප‍්‍රශ්න සයිටම් වසාදැමීමෙන් පසු විසදේයැයි සිතිය හැකිද? සයිටම් වසාදැමීම යනු ප‍්‍රශ්නයේ එක් ප‍්‍රකාශනයක අවසානය මිස සමස්ත ප‍්‍රශ්නයේ අවසානය නොවේ. ඒ නිසා සයිටම් වසාදැමීමෙන් පසුද ජනතාවට සටන්කිරීමට සිදුවනු ඇත. ඒ අනුව මෙතෙක් අප ඉතිහාසයක් තිස්සේ සටන්කළ සෑම සියලූ ප‍්‍රශ්නයක් කෙරෙහිද ඇති සමාජ අවධානය ගිලිහීයානොදී රැුකගැනීම අවශ්‍ය නොවන්නේද? ඒ නිසා මෙම සියලූ සටන්පාඨද රැුගෙන යාම තුළින් සිදුවන්නේ සටන පටුකිරීමක් නොව සටනේ සියලූම සමාජ බලවේගද අරගලය තුළම රදවාගනිමින් අරගලය තව තවත් ශක්තිමත්ව ජවසම්පන්නව ඉදිරියට යාමයි.
සයිටම් සටන ජයගැනීම සඳහා එම සටන්පාඨයට පමණක් කොටුවිය යුතු යැයි සිතීම දේශපාලන අදබාල කමකි. නොඑසේනම් පරාජය වනු දැකීමේ අභිලාෂයෙන් අරගලය වල්මත් කිරීමට ගනුලබන නිවට උත්සාහයකි. සටනක් ජයග‍්‍රහණය කළ හැක්කේ ප‍්‍රශ්නයෙන් පීඩාවට පත්වන සියලූම සමාජ බලවේගවල සහයද ඊට හිමිවන්නේ නම් පමණි. සයිටම් අරගලයේදීද එය එසේම අවශ්‍යවන නමුත් සයිටම් සටන්පාඨයට පමණක් සීමාවන්නේ නම් එවැන්නක් අපේක්ෂා කළ හැකි නොවේ. අද මෙවැනි ව්‍යාජ ප‍්‍රචාරයන් හරහා අරගලය සයිටම් සටන්පාඨයට සීමාකිරීමට උත්සාහ කරනු ලබන අතර එය නියෝජනය කරනුයේ අධ්‍යාපනය විකිණීමේ එක් නියමු ව්‍යාපෘතියක් සේ හඳුනාගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා පෙළගැසෙමින් පවතින සමාජ විරෝධය අඩපනකිරීමේ මෛත‍්‍රී - රනිල් හවුල් ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවයයි. එය අද ධනපති මාධ්‍ය ආයතනවලටත් වඩා ඉහළින් සිට LANKA TRUTH වැනි වෙබ් අඩවි හරහා සිදුකරමින් තිබීම කණගාටුවට කරුණකි.    
මෙම අරගලය පටු කිරීමක් හා දේශපාලන න්‍යායපත‍්‍රයකට අනුව හැසිරවීමක් මෙම සටන්පාඨ අරගලයට එක්කිරීම තුළින් සිදුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ විසින් කියන්නට උත්සාහ කරන නමුත් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය වටා එක්වී ඇති කිසිදු සමාජ බලවේගයකට එවැනි  ප‍්‍රශ්නයක් මතු නොවන්නට ඇත්තේ ඔවුන් තුළ වන දේශපාලන නොතේරුම්කමක් නිසා නොව මේ ඉදිරිපත්වී ඇති සියලූම ප‍්‍රශ්න ද ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නම බව තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ට ඇති නිසාය. LANKA TRUTH වෙබ් අඩවිය මෙම ප‍්‍රවෘත්තිය තුළින් සිදුකර ඇත්තේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා මේ රටේ වෛද්‍යවරුන් ඉතාමත් කුහකයන් පිරිසක් ලෙස හංවඩුගැසීමය. අධ්‍යාපනයට 6% ක් වෙන්කිරීම, සරසවි බඳවාගැනීම් ඉහළ දැමීම, පාසල්වල මුදල් අයකිරීම් නැවැත්වීම, රජයේ රෝහල්වල ඖෂධ, රසායනාගාර හා වාට්ටු පහසුකම් පු`එල් කිරීම, ඖෂධ මාෆියාවට එරෙහිවීම, IESL, කොතලාවල ඇතු`එ ආයතන තුළ උපාධි විකිණීමට එරෙහිවීම, ජනතා මුදලින් ස්ථාපිත කර ඇති NSBM වැනි ආයතන තුළ අධ්‍යාපනය විකිණීම වැනි මේ රටේ පොදු ජනතාවට සෘජු ලෙස බලපානු ලබන ප‍්‍රශ්න, විසඳාගැනීම සඳහා සටන්කිරීම තබා අවමය තමන් සම්බන්ධවන උද්ඝෝෂණයකදී සටන්පාඨයක් ලෙස වත් එම ප‍්‍රශ්න නොගතයුතු යැයි සිතන කුහකයන් පිරිසක් ලෙස හුවාදක්වමන් මේ රටේ වෛද්‍යවරුන් සමාජය තුළ අවමානයට පාත‍්‍රකිරීම මෙවැනි ප‍්‍රචාරයන්ගේ අරමුණක් වන්නට ඇත. වෛද්‍ය සංගමය නොගන්නා ලද තීරණයක් පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් මෙම වෙබ් අඩවිය සිදුකර ඇත්තේ වෛද්‍යවරුන්ට පවා එලෙස අපහාස කිරීමකි. නමුත් මෙම වෙබ් අඩවිය හා එය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂය මෙන් මේ රටේ වෛද්‍යවරුන් හෝ වෙනත් කිසිදු ජනතාවාදී සමාජ බලවේගයකට කුහකයන් වියහැකි යැයි  අපි නොසිතමු. 

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නිළ වෙබ් අඩවිය වන Lanka Truth වෙබ් අඩවිය විසින් සිදුකරන මෙවැනි පහත් ක‍්‍රියා අපි ඉතාමත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර එවැනි ව්‍යාජයන්ට නොරැවටී තම අයිතීන් වෙනුවෙන් නොසැලී ඉදිරියට එන මෙන් අපි සියලූ පොදු ජන බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු. එසේම සයිටම් අරගලය හෝ පොදුජනතාවගේ අධ්‍යාපන, සෞඛ්‍යය හා අනෙකුත් සමාජ අයිතීන් වෙනුවෙන් ගෙනයන අරගල මෙවැනි මඩ අවලාද හමුවේ නොව මරණයේ අඳුරු හෙවනැලි අභිමුඛව වුවද ජයග‍්‍රහනය තෙක් අත්නොහරින බව අප ඉතා තරයේ කියා සිටිමු.   

පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 04


ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නැතිකමින් වෙන්නේ සල්ලි තියෙන අය පිටරට විශ්වවිද්‍යාලවලට ගිහිල්ල ඉගෙනගන්න එක. ඒකෙන් වෙන්නේ නිරපරාදේ අපේ රටේ මුදල් වෙන රටවලට ගලාගෙන යන එකයි.

මේ අදහස ගත්තම එක පැත්තකින් ජාතිකවාදී අදහසක්. ගෝලීය ආර්ථිකයක්, විශ්වගම්මානයක් ගැන කතා කරන අය මේවා කියද්දි විහිළු සහගතයි. අපිට මේ අයගෙන් අහන්න තියෙන ප‍්‍රශ්නය තමයි, අධ්‍යාපනයෙදි විතරක් ඇයි මෙහෙම හිතන්නේ. හිතන්නකෝ ආර්ථිකයේ අනෙකුත් ක්‍ෂේත‍්‍රවලදිත් මේ විදිහට. අපේ ආර්ථිකය කියන්නේ සම්පුර්ණයෙන්ම දේශීය කර්මාන්ත මත පදනම්වෙච්ච, ලෝකයේ අනෙකුත් රටවල් එක්ක හරි සමාගම් එක්ක හරි කිසිම අකාරයක සම්බන්ධයක් නැති එකක් ද? නිදසුනක් විදිහට හාල් නිෂ්පාදනය කරද්දි අපි හිතන්නේ මෙහෙමද? පිටරටින් ගෙන්නන්න හොඳ නෑ, විදෙස් විනිමය අපතේ යනවා ඒ නිසා අපිට අවශ්‍ය තරම් අපි නිෂ්පාදනය කරමු කියලද? නෑ. නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙද්දි නිෂ්පාදනය නොකර පිටරටින් ගේනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරපු වී, මහජන මුදල් වියදම් කරලා මිලදීගෙන, ගබඩාවල මීයොන්ට කන්න ඇරල, පිටරටින් හාල් ආනයනය කරනවා. එහෙම කරන ගමන් කියද්දි විදේශ විනිමය ඉතිරිකරගන්න පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕන කියලා අපි ඒක පිළිගන්න ඕන ද?

උසස් අධ්‍යාපන ඇමති ලක්ෂමන් කිරිඇල්ල කියන විදිහට උපාධි ගන්න විදෙස්ගතවීම නිසා වසරකට රු. මිලියන 8000 ක් 9000ක් පමණ මුදලක් තමයි රටට අහිමි වෙන්නේ. ඔහු කියනවා ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරාම මේ මුදල රටට ඉතිරි වෙනවලූ. නමුත් රටට අහිමිවන මිලියන 9000 ක් ගැන කිඹුල් කඳුළු හෙළන කිරිඇල්ල බිලියන ගණනින් රටට විදෙස් විනිමය අහිමිවන අනෙකුත් කිසිඳු ක්‍ෂේත‍්‍රයක් ගැන කතා කරන්නේ නෑ. ලංකාවේ නිෂ්පාදන කරන්න පුළුවන් දේවල් ගිය අවුරුද්දේ මිලියන කීයක ආනයනය කරා ද? සහල් රු. මිලියන 19681.19 සීනි සහ රසකැවිලි නිෂ්පාදන රු. 37060.66 කිරි නිෂ්පාදන රු. 36550.78 මේවට විතරක් මිලියන 93292.23 ක් ගිය අවුරුද්දෙ වියදම්. හැබැයි මොවුන් මේවා ගැන කතා නොකරන්නේ ඇයි? ලංකාව වටේට මුහුදක් තියාගෙන ටින් මාළු කරවල හාල් මැස්සෝ පවා පිටරටින් ගේන බංකොළොත් ආණ්ඩු විදේශ විනිමය ඉතිරි කරගන්න කියලා අධ්‍යාපනය බිල්ලට දෙන්නෙ රට ගැන හරි, රටේ ජීවත්වන මිනිස්සු ගැන හරි හිතල නෙවෙයි. අනිත් කාරණය තමයි දැන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරා කියලා විදේශ විනිමය පිටරටට ගලායන එක වළක්වනවා කියන එක පිළිගන්න බෑ. මොකද ආණ්ඩුව දිගටම විදෙස් ආයෝජකයින්ට ආරාධනා කරනවා ලංකාව තුළ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. එතකොට විදෙස් ආයෝජකයෝ ලංකාවේ ආයෝජනය කරලා ලාභ විදෙස් රටවලට ගෙනියන්නේ නැද්ද? අපි අහන්න කැමතියි මේ තර්කය ගේන පාලකයන්ගෙන් වගේම මේවා අපට තහවුරු කරන්න හදන ආණ්ඩුවේ ඒජන්තයින්ගෙන් දැන් ෑක්‍ඔ් වගේ ගිවිසුම් ගැහුවම ඉන්දියාවෙන් හරි වෙනත් රටවලින් හරි එන ආයෝකයො ලංකාවේ ව්‍යාපාර කරලා උපයන ලාභය ඔවුන්ගේ මව් රටවලට ගෙනියන්නේ නැද්ද? මේ පාලකයොම භාණ්ඩ වෙළඳපොළ විතරක් නෙවෙයි සේවා වෙළඳ පොළත්, ප‍්‍රාග්ධන වෙළඳ පොළත් ගෝලීය ආර්ථිකයට විවෘත කරන්න දැනටමත් සැලසුම් සකස් කරලා ඉවරයි. මූල්‍ය අරමුදලත් එක්ක ආණ්ඩුව ඇති කරගෙන තිබෙන ගිවිසුම්වල මූලික එක`ගතාවයක් තමයි විදෙස් වෙළඳාමේදී අනුගමනය කරන ආරක්ෂණය ඉවත් කරන එක. එවැනි තත්ත්වයක් ඇතුළේ විදේශ විනිමය ඉතිරි කරගන්න කියලා පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕනලූ. මේකට තමයි කියන්නේ කන්න ඕන උනහම කබරගොයත් තලගොයා වෙනවා කියලා.

ආණ්ඩුවට විදෙස් විනිමය ඉතිරි කරගන්න නම් අවශ්‍ය ඒකට ඕන තරම් ක‍්‍රම තියෙනවා. අධ්‍යාපනය බිලිදිය යුතු නෑ. රටක් පිටරටින් ගතයුතු දේවල් වගේම නොගත යුතු දේවලූත් තියෙනවා. එතනදි පිටරටින් ලබාගත යුතු දේවල් අතර විද්‍යාත්මක දැනුම, තාක්ෂණය වගේ දේවල් අපේ වගේ රටකදි ප‍්‍රමුඛයි. ඒ නිසා ලංකාවෙන් ශිෂ්‍යයෝ පිටරටවල විශ්වවිද්‍යාලවලට ගිහිල්ල ඒ රටවල තියෙන දැනුම. තාක්ෂණය, සංස්කෘතික වටිනාකම් අපේ රටට ගේන එක හොඳයි. එතනදි වැය වන විනිමය අපතෙ යෑමක් නෙවෙයි. හැබැයි අපි අපේ රටේදි නිපදවන්න පුළුවන්කම තියෙද්දි හාල් ආනයනය කරන්න ඕන නෑ. අල, මිරිස්, ලූණු, කහ, සීනි, කරවල මේවා ආනයනය කරන්න ඕන නෑ. මොකද මේවා ආනයනය හරහා විදේශ විනිමය රටට අහිමි වෙනවා විතරක් නෙවෙයි රටේ නිෂ්පාදන ආර්ථිකය බිඳවැටෙන්න සහ ලංකාවේ ගොවියා, ධීවරයා පාරට වැටෙන්නත් බලපානවා. ඒ නිසා හරි පැහැදිලියි මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ විදේශ විනිමය ඉතිරි කරගන්න තියෙන උවමනාවට නෙවෙයි.



"
ආණ්ඩුවට විදෙස් විනිමය ඉතිරි කරගන්න නම් අවශ්‍ය ඒකට ඕන තරම් ක‍්‍රම තියෙනවා. අධ්‍යාපනය බිලිදිය යුතු නෑ. රටක් පිටරටින් ගත යුතු දේවල් වගේම නොගත යුතු දේවලූත් තියෙනවා. එතනදි පිටරටින් ලබාගත යුතු දේවල් අතර විද්‍යාත්මක දැනුම, තාක්ෂණය වගේ දේවල් අපේ වගේ රටකදි ප‍්‍රමුඛයි. ඒ නිසා ලංකාවෙන් ශිෂ්‍යයෝ පිටරටවල විශ්වවිද්‍යාලවලට ගිහිල්ල ඒ රටවල තියෙන දැනුම. තාක්ෂණය, සංස්කෘතික වටිනාකම් අපේ රටට ගේන එක හොඳයි. "






පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 03

ඔබ මේ හුඹස් බියක් මවන්න නේද හදන්නේ? නිදහස් අධ්‍යාපනය යටතේ
පවතින විශ්වවිද්‍යාල වහල නම් පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න යන්නේ,
මේ කියන දේවල් නිවැරදි වෙන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් වෙන්නේ
නෑ..

මේකත් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕන නිසා ගේන ජනප‍්‍රිය තර්කයක්. දැන් සමහරු හිතනවා රජයේ විශ්වවිද්‍යාල තියෙද්දි පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මම මොකද, ඒකෙන් නිදහස් අධ්‍යාපනයට හානියක් වෙන්නෙ නෑනෙ කියලා. නිදහස් අධ්‍යාපනය කියලා අපි කියන්නේ අධ්‍යාපන ආයතන රජයේ හිමිකාරත්වය යටතේ පවතිනවා කියන එකම නෙවෙයි. අධ්‍යාපනය තුළ සම අවස්ථා හිමිවෙන තත්ත්වයකට තමයි අපි නිදහස් අධ්‍යාපනය කියන්නේ. ඒ කියන්නේ ජාති, කුල, ආගම්, ස්ත‍්‍රී පුරුෂ, දුප්පත් පෝසත් භේදයකින් තොරව කාටත් පොදුවේ තමන් කැමති විෂය ක්‍ෂේත‍්‍රයක, තමන් කැමති භාෂාවකින්, තමන් කැමති දුරකට ඉගෙනගන්න ලැබෙන එකට. ඒකට තමයි නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ. ඉතින් මේ අර්ථයෙන් නිදහස් අධ්‍යාපනයක් රට තුළ ක‍්‍රියාත්මක වෙනවනම් ආයෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය වෙන්නේ නෑනෙ. නමුත් එහෙම තත්ත්වයක් රට තුළ නෑ. ඒ නිසා තමයි උසස් පෙළ සමත් වෙලත් ලක්ෂ ගානක් ශිෂ්‍යයින්ට උසස් අධ්‍යාපනය අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා පෞද්ගලික අධ්‍යාපනය තියෙනවා කියන්නෙම, ඒ කියන්නේ මුදලට අධ්‍යාපනය විකිණෙන තත්ත්වයක් පවතිනවා කියන්නෙම එතන නිදහස් අධ්‍යාපනයකට ඉඩ නෑ. 

අනිත් කාරණය තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මට නිදහස් අධ්‍යාපනයට බලපෑමක් වෙන්නේ නෑ කියන එක. ඒක මිත්‍යාවක් විතරයි. මොකද පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න මේ තරම් ආයෝජකයෝ උනන්දු කියලා අපි හිතා බැලිය යුතුයි. අපේ රටේ දරුවෝ පව්, අසරණයි ඔවුන්ට යන්න විශ්වවිද්‍යාලවල ඉඩ නෑ, ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් හදමු කියල හිතල අනුකම්පාවෙන් ද මේ උපාධි කඩ දාන්නේ? නෑ. එහෙම අනුකම්පාවක් තියෙනවනම් ඇයි මේ තරම් ගිනි ගණන් අයකරන්නේ අධ්‍යාපනයට. සුදුසුකම් තියෙන හැමෝම මේ විශ්වවිද්‍යාලවලට බඳවානොගන්නෙ ඇයි? මේ අයගෙ අරමුණ අධ්‍යාපනය දෙන එක නෙවෙයි. අධ්‍යාපනය විකුණල ලාභ ලබන එක. ඔවුන් අද දන්නවා ලාභ උපයනව නම් ඒකට අධ්‍යාපනය, සෞඛ්‍ය තරම් වෙන ක්‍ෂේත‍්‍ර නෑ කියලා. මේ අය කොච්චර අනුකම්පා සහගතයි ද කියලා පෙනෙයි, 2014 අවුරුද්දේ මාලඹේ සයිටම් එකේ ලාභය දැක්කනම්. මේ අවුරුද්දේ විතරක් නෙවිල් ප‍්‍රනාන්දුගෙ ලාභය මිලියන 1265 යි. ඉතින් මේකට තමයි මේ උපාධි කඩ අරින්නේ. එහෙම නැතිව වෙන කැක්කුමකට නෙවෙයි. 

දැන් අපි දන්නවා මේ ආයෝජකයින්ට ඕන ලාභ. ඒ ලාභ අවුරුද්දෙන් අවුරුද්ද වැඩිකරගන්න. ඉතින් ඔවුන්ගේ ලාභය වැඩි කරගන්න නම් මොකද්ද කරන්න ඕන? මේ කඩවලට එන පාරිභෝගිකයෝ වැඩිකරගන්න එකනේ. ඒ කියන්නේ ශිෂ්‍යයෝ බඳවාගැනීම අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවෙන්න අවශ්‍යයි. එහෙනම් එතනදි ඔබ හිතනවද මේ අරමුණ ඉටුකරගන්න යද්දි නොමිලේ උපාධි දෙන රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙද්දි ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. බෑ. අපි හොඳටම දන්නවා නොමිලේ දෙන තැනකුයි, මුදලට දෙන තැනකුයි තිබුණොත් මිනිස්සු යන්නෙ මොකටද කියලා. නොමිලේ දෙන තැනට. නොමිලේ අවශ්‍ය නෑ, මිල අඩු සහ වැඩි වශයෙන් තැන් දෙකක් තියෙනව නම් මිනිස්සු යන්නේ මිල අඩු තැනට මිසක් මිල වැඩි තැනට නෙවෙයි. මේ අනුව බැලූවම හරි පැහැදිලියි පෞද්ගලික විශ්වවිද්‍යාලවල පැවැත්මට රාජ්‍ය විශ්වවිද්‍යාල තර්ජනයක්. එතකොට ටිකෙන් ටික රාජ්‍ය විශ්වවිද්‍යාල දුර්වල කරන එක වළක්වන්න බෑ. 

පෞද්ගලීකරණය සිද්ධවෙන ක‍්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සම්පුර්ණයෙන්ම රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා දැමීම. ඊළ`ගට රාජ්‍ය ආයතන තියෙද්දි පෞද්ගලික අංශයටත් ඒ ක්‍ෂේත‍්‍රයට එන්න දීල තර`ගය ඇතුළේ රාජ්‍ය අංශය දිය කර හරින එකත් ක‍්‍රමයක්. තව එකක් තමයි රාජ්‍ය ආයතන අර්ධ වශයෙන් විකුණා දැමීම. දැන් මේකෙදි ආණ්ඩුව අධ්‍යාපනය විකුණන්න අනුගමය කරන ක‍්‍රමය තමයි පෞද්ගලික අංශයට ඉඩ දීල රාජ්‍ය අංශය දුර්වල කරන එක. මේක ආණ්ඩුව ලංගමට කරා. සෞඛ්‍ය සේවයේදිත් යම් පමණකට කරා. සමහර රෝහල් තියෙනවා ඒවා නිකන් බෝඞ් ලෑලි විතරයි. ඒවට මිනිස්සු යන්නෙ නෑ. සමහර පාසල් තියෙනවා ඒවගෙ කිසිම පහසුකමක් නෑ. ඉතින් දෙමව්පියෝ දරුවෝ ඒවට දාන්න කැමති නෑ. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කරන්න හදන්නෙත් ඒකම තමයි. අනිත් එක තමයි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සමගාමීව රාජ්‍ය විශ්වවිද්‍යාල තුළත් උපාධි විකිණීම පටන්ගනිමින් තියෙනවා. ප‍්‍රතිපාදන වෙන් නොකර විශ්වවිද්‍යාලවලට කියනවා නඩත්තුව හොයාගන්න උපාධි විකුණන්න කියලා. ඒකෙ අරමුණ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල තුළත් උපාධි විකිණීම ඉදිරියට ගැනීම. ඒ අනුව බැලූවම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩ දුන්නොත් වැඩිකල් රාජ්‍ය විශ්වවිද්‍යාල මේ මට්ටමින් තියෙන එකක් නෑ. 

අනික රජයේ අරමුණ පෞද්ගලික විශ්වවිද්‍යාල දාන එක සහ අධ්‍යාපනය විකුණල ලාභ උපයගන්න එක වුණාම මොකද්ද වෙන්නේ කියන එක හරි පැහැදිලියි. ආණ්ඩුව සෑහෙන්න වලි කනවා පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ආයෝජකයෝ ගෙන්න ගන්න. ඉතින් ඒ සඳහා ඔවුන් බදු සහන දෙනවා, ණය ආධාර දෙනවා, නීතිමය ප‍්‍රතිපාදන හදනවා, මේ ආදී වශයෙන් නොකරන දෙයක් නෑ. එහෙම තත්ත්වයක් ඇතුළේ ඔබ හිතනව ද අධ්‍යාපනය විකුණලා ලාභ උපයන්න හිතන ආණ්ඩුවක් නිදහස් අධ්‍යාපනය රකියි කියලා. නගාසිටුවයි කියලා. කවදාවත් ඒක වෙන්නේ නෑ. දැන් දිගින් දිගටම ආණ්ඩුව රාජ්‍ය අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන කපලා ඒක ඔප්පු කරල ඉවරයි. ඒ විතරක් නෙවෙයි පහුගිය ආණ්ඩුව කාලේ විශ්වවිද්‍යාලවල බාහිර උපාධි දෙන එක අවුරුදු තුනක් නැවැත්තුවා. ඒකට හේතුව තමයි ආයෝජකයො කිව්වා ආණ්ඩුව අඩු මුදලට විශ්වවිද්‍යාලවලින් බාහිර උපාධි දෙද්දි අපේ විශ්වවිද්‍යාලවලට වැඩි මුදලට ඉගෙනගන්න ශිෂ්‍යයෝ එන්නෙ නෑ කියලා. ඉතින් ඒ නිසා ආණ්ඩුව කළේ බාහිර උපාධි නැවැත්තුවා. හැබැයි එහෙම බාහිර උපාධි නැවැත්තුවා කියල පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන ශිෂ්‍යයෝ ප‍්‍රමාණය වැඩි වුණේ නෑ. ඒ නිසා නවත්වපු බාහිර උපාධිය මිල වැඩි කරලා ආයෙත් පටන් ගත්තා. ඒකෙන් පැහැදිලියි ආණ්ඩුවට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය රකින්න ද නැත්නම් විනාශ කරන්න ද කියලා. ආණ්ඩුවේ අරමුණ වැඩි පිරිසකට උපාධි දෙන එකනම් අඩු මිලට උපාධියක් ගන්න තිබුණ බාහිර උපාධියත් කප්පාදු කරයි ද? අනිත් එක තමයි දැන් ආණ්ඩුවට අවශ්‍ය උපාධි විකුණලා සල්ලි හම්බකරන එක නම් ඒක උපාධි කඩ ඇරල විතරක් නවත්වන්නේ නෑ. රජයේ විශ්වවිද්‍යාල තුළත් උපාධි විකුණන තැනට ගේනවා. මේක දැන් කොතලාවල ආරක්ෂක පීඨය තුළ පටන්ගෙන ඉවරයි. අනෙකුත් විශ්වවිද්‍යාල තුළත් ඇතැම් පාඨමාලා විකුණන්න පටන් අරන්. විවෘත විශ්වවිද්‍යාල තමයි මේ සඳහා හොඳම උදාහරණය. විවෘත විශ්වවිද්‍යාල ආරම්භ කළේ යම් සහනදායි පදනමකින්, රැුකියාවක් කරන කෙනෙක්ට වුණත් අවශ්‍ය නම් උපාධියක් දක්වා අධ්‍යාපනය ලබන්න පුළුවන් වටපිටාවක් හදන්න. හැබැයි මීට අවුරුදු කීපයකට පෙර ආණ්ඩුව විවෘත විශ්වවිද්‍යාලයේ ගාස්තු 80%කින් වැඩි කරා. ශිෂ්‍යයෝ විරුද්ධවුණු නිසා තමයි ඒ තත්ත්වය යම් පමණකට හරි වෙනස් වුණේ. නමුත් මේ උත්සාහය අවසන් නෑ. ආණ්ඩුව කල්පනා කරන්නේ විවෘත විශ්වවිද්‍යාලය උපාධි විකුණල ලාභ උපයන්න පුළුවන් ආයතනයක් කරන්න. නිදහස් අධ්‍යාපනය රකිනවා කියන කතා ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. අධ්‍යාපනයට 6%ක් දෙනවා කියපු පොරොන්දුවලට මොකද වුණේ. දැන් වෙන් කරලා තියෙන්නෙ කීයද? ආණ්ඩුව කිව්වා මෙවර අයවැයෙන් රු. බිලියන 185 ක් අධ්‍යාපනයට වෙන්කරා කියලා, මේක ප‍්‍රතිශතයක් විදිහට හදල දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් විදිහට 5.41%ක් වෙන්කරා 6%ට තව පොඩි ප‍්‍රමාණයයි මදි කියලා කිව්වා. බැලූ බැල්මට මුදල් වැඩි කරලා කියල පේනවා මේ සංඛ්‍යා ලේඛන දැක්කම. හැබැයි මේක සම්පූර්ණයෙන්ම ඇස් බැන්දුමක් විතරයි. 185 කියලා කියන්නේ ආණ්ඩුව මේපාර අයවැයෙන් වෙන්කරපු මුදල නෙවෙයි. මෙතන බිලියන 121 ක්ම තියෙන්නේ දැනට අධ්‍යාපන ආයතන සතු දේපලවල අදට තක්සේරු වටිනාකම්. ඒ කියන්නේ ඒ ගොඩනැගිලි බද්දට ගත්තනම් ඒකට කීයක් යනවද කියලා හදල, ඒ ගාණත් එකතු කරලා. මේ බිලියන 121 ක පාසල්වලට ලැබෙන එකක් නෙවෙයි. දැන් ඔබේ හෝ ඔබේ දරුවගෙ පාසලේ ගොඩනැගිලි තියෙනවා, විද්‍යාගාර තියෙනවා. ඒවට කිසිම ගෙවීමක් පාසලෙන් කළ යුතු නෑ. නමුත් මේ දේපල පාසලට නෑ කියලා හිතල, ඒවා වෙන ආයතනයකින් කුලියට ගත්තනම් කීයක් ගෙවන්න වෙයි ද කියලා තක්සේරු කරලා බලල, ඒ මුදලත් අධ්‍යාපන වියදමට එකතු කරලා.
මේක ජනතාව මුලා කිරීමක්. ඇත්තටම වෙන් කරලා තියෙන ගාන බිලියන 64 යි. ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2015 ට වෙන් කරලා තිබුණේ බිලියන 62යි. ඒකට අනුව බිලියන 2 ක් වැඩි. හැබැයි ඒ බිලියන දෙක වැඩි කරලා තියෙන්නේ මෙතෙක් කල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොතිබුණු කලින් සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තිබුණ මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ටවර් හෝල් රඟහල පදනම, ජාතික කලා මණ්ඩලය, ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලය වගේ දෙපාර්තමේන්තු සහ ආයතන දහයක් ඇතුලත් කරලා.
මේවට වියදම් ගියාම හරි පැහැදිලියි මේපාර අයවැයෙන් ගිය පාර වෙන් කරපු බිලියන 62 වත් වෙන් කරලා නෑ. 2015 අවුරුද්දෙ මහින්දගෙ ආණ්ඩුව 1.9% ක් අධ්‍යාපනයට වෙන් කරා. මේ ආණ්ඩුව සංඛ්‍යා විජ්ජා දාලා 5.41% ක් වෙන්කරා කිව්වට මොකද සැබෑ ප‍්‍රතිශතය 1.9% ක්වත් වෙන් කරල නෑ. අනික දැන් පාසල්වල මොකද වෙන්නේ කියලා අපි හොඳටම දන්නවා. පාසල්වලින් මුදල් අයකරන එක වැරදියි කියලා බලයට ආපු ආණ්ඩුව කරේ මුදල් අයකරන එක නීතිගත කරන්න චක‍්‍රලේඛගහපු එක විතරයි. ඒවා වෙනස් වෙලා
නෑ. අද පාසල් නඩත්තුව මුළුමනින්ම දෙමාපියන් මත පටවලා තියෙන්නේ. ඒ නිසා හරි පැහැදිලියි අධ්‍යාපනය විකුණන්න ඉඩ දුන්නොත් එතනදි නිදහස් අධ්‍යාපනය කියලා ඉතිරි වෙලා තියෙන ටිකත් ඉවරයි.

පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 02

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න දුප්පත් අයට බැරිවෙන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් සල්ලි තියෙන කෙනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනගත්තම තියෙන ප‍්‍රශ්නය මොකද්ද? ඒකෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වන බලපෑමක් නෑනෙ..
පෞද්ගලික විශ්වවිද්‍යාලවට අපි විරුද්ධ වෙන්නෙ අපි සල්ලි තියෙන අය ඉගෙනගන්නවට විරුද්ධ නිසා කියල කවුරුහරි හිතනව නම් ඒක වැරදියි. මොකද අධ්‍යාපනය සම්බන්ධ අපේ ස්ථාවරය තමයි, දුප්පත් පෝසත්, ජාති, ආගම්, කුල, ස්ත‍්‍රී පුරුෂ මේ කිසිඳු භේදයක් නොසලකා කාටත් අධ්‍යාපනය ලැබීමට සමාන අයිතියක් තිබිය යුතුයි කියන එක. ඒ නිසා මුදල් තියෙන අය ඉගෙනගන්නවට අපි තුළ කිසිම විරෝධයක් නෑ. නමුත් මුදල් ගෙවිය හැකි අතලොස්සකගේ වරප‍්‍රසාදයක් බවට අධ්‍යාපනය පත්කරන ක‍්‍රමයකට අපිට එකඟවෙන්න බෑ. ඒ නිසා තමයි අපි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ. මෙතනදි වෙන්නෙ අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් කිරීම. ඒ කියන්නේ අධ්‍යාපනය මුදල මත තීරණය කිරීම. ඒකට ඉඩදෙන්න බෑ. 
අධ්‍යාපනය කියන්නෙ සමාජ අයිතියක් මිසක වරප‍්‍රසාදයක් නෙවෙයි. අයිතියක් සහ වරප‍්‍රසාදයක් අතර තියෙන වෙනස තමයි, අයිතිය කාටත් පොදුයි. සමාජ අයිතියක් නම් ඒකෙදි ජාතිය, කුලය, ස්ත‍්‍රී/පුරුෂභාවය, ආගම, සමාජ පංතිය (දුප්පත්කම හෝ පොහොසත්කම* මේවා අදාළ වෙන්න බෑ. හැබැයි වරප‍්‍රසාදයකදි එහෙම නෙවෙයි. වරප‍්‍රසාද හිමි වෙන්නේ සමාජයේ ඉතා අතලොස්සකට විතරයි. අනෙක් අයට නැති, කෙනෙක්ට දෙන්නෙක්ට විතරක් තියෙන නිසා තමයි ඒක වරප‍්‍රසාදයක් වෙන්නේ. අධ්‍යාපනය මුදල මත තීරණය වුණාම සිද්ධවෙන දේ තමයි, මුදල් ගෙවන්න හැකියාව තියෙන සීමිත පිරිසකගේ වරප‍්‍රසාදයක් වෙන එක. අන්න ඒ නිසා තමයි අපි අධ්‍යාපනය විකුණනවට විරුද්ධ. අධ්‍යාපනය ලැබීමේදී වෙනස්කම් කිරීම නොකළ යුතුයි කියන එක, අපි නෙවෙයි එක්සත් ජාතීන්ගේ සංගමය පවා පිළිගත්ත සම්මුතියක්. ගැටලූව තමයි ඒවා පිළිගත්තට මොකද යථාර්ථයේදී ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. 

උදාහරණයක් විදිහට පාසල්වලට සිසුන් බඳවාගැනීමේදී වාර්ගිකත්වය මත විශේෂ සැලකිල්ලක් දක්වනව නම් ඔබ ඒක පිළිගන්නවද? ඒ කියන්නේ එක ජාතියකට විතරක් විශේෂ සැලකිල්ලක් දක්වනව නම් ඒක අනුමත කරනව ද? විශ්වවිද්‍යාලවලට බඳවාගනිද්දි සිංහල ශිෂ්‍යයෝ 50%යි,දෙමළ ශිෂ්‍යයෝ 30%යි, මුස්ලිම් ශිෂ්‍යයෝ 20%යි මේ විදිහට බඳවාගැනීම් කරනවා කියල අපි හිතුවොත් ඔබ ඒක අනුමත කරනව ද? මේක 1971 දී ප‍්‍රමිතිකරණය නමින් සමඟි පෙරමුණ ආණ්ඩුව යටතේ කරන්න හැදුවා. අපි හිතනවා උග‍්‍ර ජාතිවාදියෝ ඇරෙන්න, ශිෂ්ඨ සම්පන්න සමාජයක කිසිවෙක් මෙහෙම ක‍්‍රමයක් අනුමත කරන්නෙ නෑ. දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනී ඉන්න, ලිබරල් යැයි කියාගන්නා මහත්තුරුන්ගෙන් මෙහෙම ක‍්‍රමයකට කැමති ද කියල අපි ඇහුවොත් දෙන පිළිතුර මොකක් වෙයි ද? අනිවාර්යෙන්ම විරුද්ධ වෙයි. මොකද මෙතනදි ඇතැම් වාර්ගික ජන කණ්ඩායම්වලට වරප‍්‍රසාද දීමක් සහ ඇතැම් කණ්ඩායම් නොසලකා හැරීමක් වෙනවා. ඒක අසාධාරණයි. 
ඒවගේම තව උදාහරණයක් විදිහට කවුරුහරි කිව්වොත් කාන්තාවො ඉගෙන ගන්න  ඕනෙ නෑ. ඔවුන්ට ගෙදර දොරේ වැඩපල ටික කරගෙන, දරුවෝ රැුකබලාගෙන හිටියම ඇති, ඒ නිසා පිරිමින් විතරක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවම ඇති කියලා. ඔබ එහෙම ක‍්‍රමයකට කැමති ද? විශේෂයෙන් අපි කාන්තාවන්ගෙන් අහනවා, ඔබේ අදහස මොකද්ද? අපි හිතනවා කාන්තාවෝ විතරක් නෙවෙයි කිසි කෙනෙක් මෙවැනි ක‍්‍රමවේදයක් අනුමත කරන්නෙ නෑ. ආගමික හෝ කුල පදනමින් වෙනස්කම් කිරීම වුණත් මෙහෙම තමයි. අපි කවුරුත් එවැනි ක‍්‍රමයක් සම`ග එක`ග වෙන්නේ නෑ. 
හැබැයි මෙවැනි පදනමකින් අධ්‍යාපනය සීමා කරනවට, විරුද්ධ බොහෝ අය මුදල් කියන සාධකය මත අධ්‍යාපනය සීමා කරනවට විරුද්ධ නෑ. වර්තමානයේ බොහෝ විට ලිබරල්වාදීන් කියන අය තමයි මෙතනදි ඉදිරියෙන්ම ඉන්නේ. හැබැයි ඔවුන් හැම තිස්සෙම කියන්න හදනවා, අපි බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මිනිස්සු, නිදහසට, සමානාත්මතාවට ගරු කරන අය කියලා. හැම තිස්සෙම මොවුන් ඉදිරිගාමීයි, ප‍්‍රගතිශීලීයි කියලා පෙන්නන්න හදනවා. හැබැයි මොවුනුයි වැඩවසම් රදළයොයි අතර කිසිම වෙනසක් නෑ. එදා රදළයෝ එක්කෝ කුලය, නැත්නම් ආගම, ලිංගය ඉස්සරහට දාගෙන අධ්‍යාපනය ලැබීමට සාමාන්‍ය ජනතාවට ඉඩ දුන්නේ නෑ. වහල් සමාජයේදී වහල් හිමියෝ විතරයි අධ්‍යාපනය ලැබුවේ. වැඩවසම් සමාජයේදී රදළ අතලොස්සක් විතරයි. භාරත සමාජේ බ‍්‍රාහ්මන, ක්ෂත‍්‍රිය, වෛශ්‍ය වගේ ඉහළ යැයි සම්මත කුල වල අයට විතරයි ඉගෙනගන්න අවස්ථාව තිබුණේ. ශුද්‍රයන්ට ඒ කියන්නේ පහළයැයි සම්මත කුලවල ජනතාවට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. මේ ඉහළයැයි සම්මත කුලවල වුණත් කාන්තාවන්ට අධ්‍යාපන අවස්ථා ලැබුණේ ඉතාම කලාතුරකින් විතරයි. එතකොට හරි පැහැදිලියි ඉතිහාසෙ හැමදාම අධ්‍යාපනය, සමාජයේ යම් වරප‍්‍රසාදිත කොටසක් විතරයි භුක්ති වින්දේ කියලා. හැබැයි ඒක මිනිස්සු සටන් වැදිලා, නිදහස් අධ්‍යාපනය දිනාගැනීමෙන් පස්සේ වෙනස් වුණා. ජාතියවත්, කුලයවත්, ආගමවත්, ස්ත‍්‍රී පුරුෂභාවය හෝ පංතියවත් නොසලකා හැමෝටම ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. හැබැයි දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? මේ සූදානම පරණ වැඬේම ආයෙත් කරන්න. ඒ කියන්නේ ජාතිය, ආගම, කුලය, ලිංගිකත්වය වෙනුවට, මුදල් කියන සාධකය ගෙනල්ල ආයෙත් අධ්‍යාපනය සමාජේ කීපදෙනෙක්ගෙ වරප‍්‍රසාධයක් කරන්න. අන්න ඒ නිසා තමයි අපි අධ්‍යාපනය විකුණනවට විරුද්ධ. 
අධ්‍යාපනය මුදල මත තීරණය වුණාම සිද්ධවෙන දේ තමයි මුදල් ගෙවීමේ හැකියාව මත අධ්‍යාපනය ලැබීම හෝ නොලැබීම තීරණය වෙන්න පටන්ගන්නවා. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමට පෙර අපේ රටේ අධ්‍යාපනය ලැබීම රදලයන්ගේ වරප‍්‍රසාදයක් වුණා වගේ මිලියන ගණන් ගෙවන්න පුළුවන් පිරිසකගෙ වරප‍්‍රසාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනය මුදල මත තීරණය වෙද්දී ගුණාත්මකව පිරිහෙන එකත් වළක්වන්න බෑ. අධ්‍යාපනය එහෙම විය යුතු නෑ. මොකද අධ්‍යාපනය කියන්නේ මිනිහෙක්ගෙ ජීවිතේ ඉතාමත් තීරණාත්මක කාරණයක්. අධ්‍යාපනයත් ප‍්‍රධානම කාරණයක් මිනිහෙක් කොයි වගේ කෙනෙක් වෙනවද කියන එක තීරණය වෙද්දි. 
අධ්‍යාපනය කියලා කියන්නේ දැනුමට සම්බන්ධ දෙයක්. මේ දැනුම කියල කියන්නේ මිනිස්සු ඉතිහාසයක් තිස්සේ තමන්ගේ ජීවන අත්දැකීම් තුළින් ජීවිතය ගැන, ලෝකය ගැන ලබාගෙන තියෙන අවබෝධය. ඒ විතරක් නෙවෙයි මේ අත්දැකීම් ඔස්සේ හිතල මතල, කල්පනා කරලා, සංවර්ධනය කරලා තියෙන දේවල් වලට. 
නිදසුනක් විදිහට භාෂාව කියන්නේ දැනුමක්, මේ භාෂාව මිනිසුන්ට අවශ්‍යයි. මොකද භාෂාවක් නැතුව ඔබට සමාජයත් එක්ක ගණුදෙනු කරන්න බෑ. ඔබට ඔබේ හැඟීම් අනෙකා සමඟ බෙදාහදාගන්න, අපි ජීවත්වන සමාජය, ලෝකය පිළිබඳ දේවල් දැන කියා ගන්න භාෂාව අවශ්‍යයි. එක භාෂාවක් නෙවෙයි භාෂා කිහිපයක් දැනගෙන සිටීම තුළ මිනිහෙක්ගෙ දැක්ම, පුළුල්කම වැඩියි. මොකද ඔහුට විවිධ භාෂාවන් කතා කරන මිනිසුන් සමඟ, විවිධ සංස්කෘතීන් සමඟ ගණුදෙනු කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා භාෂාව නැමති දැනුම කොයිතරම් වැදගත් ද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. වෛද්‍ය විද්‍යාව කියන්නේ දැනුමක්. අපි විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවෙලා මැරෙන එක වළක්වගන්න නම් වෛද්‍ය විද්‍යාත්මක දැනුම අවශ්‍යයි. ඒක වෛද්‍යවරුන්ට විතරක් නෙවෙයි අපි කාටත් වැදගත්. මොකද නිරෝගී සමාජයක් වෙනුවෙන් වෛද්‍ය විද්‍යාත්මක දැනුම නැතුව බෑ. 
වෛද්‍ය විද්‍යාව විතරක් නෙවෙයි සියලූම විද්‍යාවන් සම්බන්ධ දැනුම හැම මිනිහෙක්ටම අවශ්‍යයි. ඒ දැනුම විසින් ජීවිතයට ලොකු ආලෝකයක් ගේනවා. නිදසුනක් විදිහට අපි හිතමු ඔබට කිසියම් ලෙඩක් හැදුනා කියලා. එතකොට ඔබ විද්‍යාව දන්න කෙනෙක් නම් ඔබ කරන්නෙ වෛද්‍යවරයෙක් හමුවෙලා ලෙඬේට ප‍්‍රතිකාර ගන්න එක. එහෙම නැත්නම් ඔබ අවිද්‍යාව නම් විශ්වාස කරන්නේ මොකද්ද වෙන්නේ. කට්ටඩියෝ පස්සේ යයි, දෙහි කපයි, තොයිල් නටයි, අන්තිමේ අතේ තියෙන මුදලත් නැතිකරගෙන අසනීපයත් වැඩිවෙලා මැරිල යයි. ඉතිහාසෙ අපි හිතාගෙන හිටියා මිනිහෙක්ගෙ ජීවිතේ තීරණය වෙන්නේ ග‍්‍රහ තාරකාවලට අනුව, එහෙම නැත්නම් මොකක් හරි අදුෂ්‍යමාන බලයකට අනුව කියලා. හැබැයි විද්‍යාව විසින් ඔප්පු කරල තියෙනවා ඒක එහෙම නෙවෙයි කියලා. ජීවිතේ කොන්දේසි පාලනය කළ හැකියි කියලා. මිනිහෙක්ට තමන්ගේ ජීවිතය හොඳ අන්තයකට රැුගෙන යන්න ඒ දැනුම අවශ්‍යයි. ගණිතය කියන දැනුම අපට අවශ්‍ය නැද්ද? අපි කවුරුත් ගණිතය දන්නේ නැත්නම් මොකක් වෙයිද? ගණිතය ගැන ඉතාමත් සරල දැනුම එකතු කිරීම්, අඩුකිරීම් නැති වුණොත් කඬේකට ගිහින් බඩුවක් මිලදී ගන්නවත් අද බෑ. දැන් මේ විදිහට හැම විෂයක්ම සම්බන්ධ දැනුම අපේ ජීවිතවලට  ඕනි. අපි හිතමු කලාව අපට  ඕනි නැද්ද? කලාව රසවිඳීම තුළින් මිනිහෙක්ගෙ ජීවිතේට ලැබෙන ආලෝකය වෙන දේකින් ගන්න බෑ. ඒ නිසා කලා කෘතියක් රස විඳින්න පුළුවන් දැනුමක් හැම කෙනාටම අවශ්‍යයි. ක‍්‍රීඩාව ගත්තත් එහෙමයි. දේශපාලනය විසින් අද ජීවිතේ සියල්ල තීරණය කරනවා. ඒ නිසා දේශපාලනය පිළිබඳ දැනුම නැතිව ජීවිතය සම්බන්ධ කාලකණ්ණි අත්දැකීම් වෙනස් කරන්න බෑ. ආර්ථික විද්‍යාව දැනගෙන සිටීම වැදගත්. නැත්නම් බොරු සංඛ්‍යා විජ්ජා දාලා ජනතා අයිතීන් කොල්ලකන්න, අපිව සූරාකෑමට ලක්කරන්න පාලකයන්ට ලේසියි. අපි ආර්ථික විද්‍යාව නොදන්න නිසා තමයි, අපි කර්මාන්ත ශාලාවල දිනපතා දාස් ගණන් උපයද්දි ඉතාමත් සොච්චම් වැටුපක් දීල අපෙන් වැඩගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා අපි ඉගෙනගන්න හැම විෂයක්ම කියන්නේ ජීවිතයට අවශ්‍ය දේවල්. මේ විෂයන් සම්බන්ධ දැනුම ගලාගෙන නොගියොත් සමාජය ඉදිරියට යන්නෙ නෑ. 
දියුණු රස වින්දනයක් සහිත, පුළුල් සංස්කෘතික දැක්මක් තියෙන, ඒ වගේම මානව දයාවෙන් පිරිච්ච මිනිස්සු නිර්මාණය වෙන්න අධ්‍යාපනය අවශ්‍යයි. අපි දන්නවා පුද්ගලයා තුළ උසස් කලා රස වින්දනයක් වර්ධනය කරන්න නම් අධ්‍යාපනයක් අවශ්‍යයි. විද්‍යාවේ, කලාවේ, දර්ශනයේ, දේශපාලනයේ, ආර්ථිකයේ දියුණුව සංවර්ධනය නිකන් වෙන්නේ නෑ. අපි හිතනවා ඒ සඳහා ඒ විෂයන් පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් තිබිය යුතුයි. අපි දන්නවා අපරාධවලට පෙළඹීම වුණත් වැඩි ප‍්‍රවනතාවයක් තියෙන්නේ නූගත් ජන කොටස් අතර කියලා. ඒ නිසා තමයි එක පාසලක් වහද්දි හිරගෙවල් 10 ක් ඇරෙනවා කියලා කියන්නේ. 
දැන් අපි මේවා කියද්දි කෙනෙක් අපෙන් අහන්න බැරි නෑ අද අධ්‍යාපනය ඔය අරමුණින් ද ක‍්‍රියාත්මක වෙන්නෙ කියලා. අධ්‍යාපනය කියන්නේ රාජ්‍යයේ දෘෂ්ඨිමය මෙවලක් මිසක් ඔය කියන සමාජ අරමුණු වෙනුවෙන් භාවිතා වෙන එකක් නෙවෙයි නේද කියලා කෙනෙක් අහන්න බැරි නෑ. ඔව් අද පවත්නා අධ්‍යාපනය එහෙම තමයි. ඒක තුළ අධ්‍යාපනයක් තුළින් අපේක්ෂා කළ යුතු පුද්ගල හෝ සමාජීය අරමුණු ඉටුවෙන්නෙ නෑ. හොඳ අධ්‍යාපනයක් කියන්නේ විචාරයට නිර්මාණශීලීත්වයට ඉඩ දුන් එකක් විය යුතුයි. එහෙම අධ්‍යාපනයක් දරුවන්ගෙ ඔළුවලට පැරණි විෂය කරුණු අවිචාරයෙන් පුරවන එකක් නෙවෙයි. ඒ වෙනුවට සියලූම විෂයන් දිහා විචාරයෙන් යුතුව බලල හරිදේ රැුගෙන යන්නත් වැරදි දේ බැහැර කරන්නත් පුහුණු කළ යුතුයි. එවැනි අධ්‍යාපනයක් කියන්නේ ගුරුවරයා සර්ව සම්පූර්ණයි කියල හිතල, ශිෂ්‍යයින් ප‍්‍රශ්න කිරීමකින් තොරව ගුරුවරු කියන දේ පිළිගන්න බලකරන එකක් නෙවෙයි. ඒ වෙනුවට ප‍්‍රශ්න කරන, වාද විවාද කරන, කටපාඩම් කිරීම වෙනුවට හැදෑරීමට අධ්‍යයනට බර තබපු එකක් තමයි හොඳ අධ්‍යාපනයක් කියන්නේ. හැබැයි එවැනි අධ්‍යාපනයක් පවත්නා සමාජයට ගැලපෙන්නේ නෑ. ඒ කියන්නේ ධනවාදයට අවශ්‍ය ප‍්‍රශ්න කරන මිනිස්සු නෙවෙයි. සියල්ල කරබාගෙන බාරගන්න අය විතරයි. පාසල්වල විතරක් නෙවෙයි අද විශ්වවිද්‍යාලවල පවා තියෙන්නේ මේ තත්ත්වය තමයි. ගුරුවරයා සහ ශිෂ්‍යා අතර තියෙන්නෙ වහල් සම්බන්ධයක්. 80% දේශන අනිවාර්ය කිරීමේ ප‍්‍රතිපත්තිය තුළ තියෙන්නෙත් මෙන්න මේ සම්බන්ධය පවත්වාගෙන යාමේ වුවමනාව ප‍්‍රකාශවීමක්. ඒ ගැන අපි පුදුම වෙන්නේ නෑ. මොකද ධනවාදී සමාජයක් තුළ අධ්‍යාපනයේ ප‍්‍රධාන අරමුණක් වන වහල් ශ‍්‍රමිකයන් නිර්මාණය කරගන්න නම් එවැනි ක‍්‍රමයක් අවශ්‍යයි. ඒ වගේම තමයි සියලූ සමාජ අසාධාරණකම් විඳ දරාගන්න නම් කිසිවක් ප‍්‍රශ්න නොකරන, හැමදේම බාරගන්න විදිහේ පෞරුෂයන් හැදිය යුතුයි. 
පවත්නා අධ්‍යාපන ක‍්‍රමය තුළ පවතින මෙවැනි පංති අරමුණු අපි බැහැර කරන්නේ නෑ. නමුත් මේ සියල්ල තිබියදී පවා මේ විෂයන් තුළ පවතින වටිනාකම් අගයන් අපි වටහා ගත යුතුයි. අපේ අරගලය විය යුත්තේ මෙවැනි අධ්‍යාපනයක් වෙනුවෙන් නෙවෙයි. ඒ ගැන අපිට විවාදයක් නෑ. හැබැයි එහෙම කියලා දැන් මේ පවතින ටිකත් විකුණන්න ඉඩ දුන්නොත් අපිට වඩා හොඳ අධ්‍යාපනයක් වෙනුවෙන් අරගල කරන්නවත් කිසිවක් ඉතිරිවෙන්නේ නෑ. ඒ නිසා අධ්‍යාපනය විකිණීමට එරෙහි අරගලය, එතැනින් අවසන් නොකර ප‍්‍රශස්ත අධ්‍යාපනයක් දිනාගැනීම දක්වාම රැුගෙන යා යුතුයි. 
අධ්‍යාපනය තුළින් විය යුත්තේ ජීවත්වෙන්න අවශ්‍ය මේ දැනුම ලබාදෙන එක. මේ දැනුම කෙනෙක්ට දෙන්නෙක්ට නෙවෙයි හැමෝටම අවශ්‍යයි. හැබැයි ඒ දැනුම ලබාගැනීම මුදල මත නම් තීරණය වෙන්නේ, එතකොට ඒ අවස්ථාව ලැබෙන්නේ මුදල් ගෙවිය හැකි අතලොස්සකට විතරයි. අපි එයට ඉඩ නොදිය යුතු අතර අධ්‍යාපනයේ සම අයිතිය වෙනුවෙන් සටන් වැදිය යුතුයි.
අනිත් වැදගත්ම කාරණය තමයි, අපි ඉපදුනේ කොහේද, කොහොමද, කොයිවිදිහට ද, කියන කාරණා අදාළ කරගන්නේ නැතිව මේ මහපොළවෙ ඉපදෙන කාටත් තමන්ගේ අනාගතය කොයි වගේ විය යුතු ද කියන එක තීරණය කරන්න අයිතියක් තිබිය යුතුයි. ඔබ අනාගතයේ මොන ක්‍ෂේත‍්‍රය තුළ ද ඉස්සරහට යන්නේ, මොකද්ද කරන රැුකියාව මේවා තීරණය කරන්න අයිතියක් අපට තියෙන්න අවශ්‍යයි. හැබැයි ඒ අයිතිය තීරණය වෙද්දී අධ්‍යාපනය ඉතාමත් තීරණාත්මකයි. අධ්‍යාපනය මුදලට නම් තීරණය වෙන්නේ, ඇතැම් විෂයන් ඒ කියන්නේ අධික මිල ගණන් යටතේ විකිණෙන විෂයන් ඉගෙනගන්න හම්බවෙන්නේ ඉතාම සුළු පිරිසකට විතරයි. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, නීතිය, මේ වගේ ඉහළ වැටුප් සහිත වෘත්තීන් සහිත අධ්‍යාපනය මිල අධික වෙන එක වළක්වන්න බෑ. සාමාන්‍ය ජනතාවට කවදාවත් එවැනි විෂයන් ඉගෙනගන්න වෙන්නේ නෑ. එතකොට වෙන්නේ මොකද්ද පැරණි රදල ක‍්‍රමය වගේ එකක් ආයෙත් ස්ථාපිත වෙනවා. ගොවියගෙ දරුවා ගොවියා, ධීවරයගෙ දරුවා ධීවරයා මේ විදිහට තමයි සමාජයේ වෘත්තීන් බෙදී යාම සිද්ධ වෙන්නේ. නිදහස් අධ්‍යාපනය හරහා මේ ක‍්‍රමය යම් පමණකට වෙනස් වුණා. ගොවියගෙ දරුවටත්, වතු කම්කරුවගෙ දරුවටත් වෙනස්කමකින් තොරව තමන් කැමති විෂයක් ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණා. මේ නිසා තමයි නිදහස් අධ්‍යාපන පනත සම්මත වුණාට පස්සේ මාටින් වික‍්‍රමසිංහ මහතා කිව්වේ බමුණු කුලය බිඳවැටුණා කියලා. දැන් මේ හදන්නේ මොකද්ද? නැවතත් එවැනි තත්ත්වයක් ස්ථාපිත කරන්න. ඒ නිසයි අපි මේවට විරුද්ධ. අපි අහනවා ඔබ කැමතිද එහෙම තත්ත්වයක් ඇති වෙනවට. අකමැති නම් අධ්‍යාපනය විකුණනවට විරුද්ධ විය යුතුයි. 

එදා රදළයෝ එක්කෝ කුළය, නැත්නම් ආගම, ලිංගය ඉස්සරහට දාගෙන අධ්‍යාපනය ලැබීමට සාමාන්‍ය ජනතාවට ඉඩ දුන්නේ නෑ. වහල් සමාජයේදී වහල් හිමියෝ විතරයි අධ්‍යාපනය ලැබුවේ. වැඩවසම් සමාජයේදී රදළ අතලොස්සක් විතරයි. භාරත සමාජේ බ‍්‍රාහ්මන, ක්ෂත‍්‍රිය, වෛශ්‍ය වගේ ඉහළ යැයි සම්මත කුළ වල අයට විතරයි ඉගෙන ගන්න අවස්ථාව තිබුණේ. ක්ෂද්‍රයන්ට ඒ කියන්නේ පහළයැයි සම්මත කුළවල ජනතාවට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. මේ ඉහළයැයි සම්මත කුළවල වුනත් කාන්තාවන්ට අධ්‍යාපන අවස්ථා ලැබුණේ ඉතාම කලාතුරකින් විතරයි. 




පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 01

අවුරුද්දකට උසස් පෙළ විභාගයෙන් 150000ක් පමණ සරසවි ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. හැබැයි විශ්වවිද්‍යාලවලට බඳවාගන්නේ 25000 කටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණයි. සෑම වර්ෂයකම තවත් ලක්ෂ ගාණකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වෙනවා. මොවුන් වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන එකේ ඇති වැරැුද්ද මොකද්ද? 

මේ කරුණු ගැන අපිට කිසිම විවාදයක් නෑ. 2015 වර්ෂයේ උසස් පෙළින් 155457 ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න සුදුසුකම් ලැබුවා. හැබැයි බඳවාගෙන තියෙන්නේ 25000කටත් වඩා අඩු ප‍්‍රමාණයක් පමණයි. තව 130000ට වඩා වැඩි පිරිසක් ඉන්නවා උසස් පෙළ සමත් ශිෂ්‍යයෝ. හැබැයි ඔවුන්ට උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් නෑ. මේ හැමෝටම උසස් අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය අපි පිළිගත යුතුයි. ඒ විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් වැදිය යුතුයි. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල මේ ප‍්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. 

මේ බොහෝ දෙනෙක්ට විශ්වවිද්‍යාලවලට යන්න බැරිවෙලා තියෙන්නෙ ලකුණු ප‍්‍රමාණවත් නැති නිසා නෙවෙයි. විශ්වවිද්‍යාලවලට තේරිච්ච අයයි නොතේරුණ සමහර ශිෂ්‍යයොයි අතරේ ලකුණුවල වෙනස සමහර විට ලකුණක් දෙකක්, නැත්නම් දශමස්ථානයක් වෙන්නත් පුළුවන්. මේ අතර ශිෂ්‍යයෝ ඉන්නවා. ඔවුන්ට විෂයන් තුනටම ් සාමාර්ථ තියෙනවා. හැබැයි ඔවුන් විශ්වවිද්‍යාලවලට බඳවාගන්නෙ නෑ. අපි අහනවා, උසස් පෙළ විභාගයෙන් මීට වඩා ගන්න තියෙන සාමාර්ථය මොකද්ද? 
මොවුන් මේ තැනට එන්න කොයිතරම් නම් වෙහෙස මහන්සි වෙන්න ඇත්ද? උදේ පාන්දරම ඉස්කෝලෙට යන දරුවෝ ආයෙත් ගෙදර එන්නේ හැන්දෑවේ අඳුරත් අරගෙන. උදේට ඉස්කෝලේ, හවස් වරුව, නිවාඩු දවස් ගෙවෙන්නේ ටියුෂන්වලට. මොවුන්ට ජීවිතේ කිසිම විවේකයක් නෑ. ? තිස්සෙ නිදි කිර කිරා, කකුල් වතුර බේසම්වල ඔබාගෙන පාඩම් කරන්න දුක් විඳින හැටි අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඔවුන්ට ළමා කාලයක් නෑ. තාරුණ්‍යයක් නෑ. දරුවො විතරක් නෙවෙයි, දෙමව්පියන් ගත්තත් මේ තත්ත්වය කිසිම වෙනසක් නෑ. දරුවන්ගෙ අධ්‍යාපනයට දරන්න සිද්ධ වෙලා තියෙන බර කොයි වගේද කියල, දෙමව්පියෝ විදහට ඔබට අපි කියන්න  ඕන නෑ. මේ රටේ දෙමව්පියෝ හරි හම්බකරන්න, නොවිඳිනා තරම් දුක් විඳිනවා. ? නිදි මරාගෙන වැඩ කරනවා. පැය 8 ක් වැඩ කරලා ලැබෙන සොච්චමෙන් දරුවන්ගෙ අධ්‍යාපනයට යන පිරිවැය දරාගන්න බෑ. ඒ නිසා හැමදාම පැය දෙක තුනක්  ඕටී (දඩැර එසපැ* කරන්න වෙනවා. 
පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 6 
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 

විවේකය ගැන හිතන්නෙ නැතිව, සෙනසුරාදා, ඉරිදා, නිවාඩු දවස් මේ හැමදාම වැඩ කරන්න වෙනවා. එහෙම කරලා, උපයන හැම තඹ සතයක්ම වියදම් කරන්නෙ මොකටද? දරුවන්ට. ඔවුන්ගේ අධ්‍යාපනයට. අපිට අහන්න තියෙන ප‍්‍රශ්නය තමයි, දෙමාපියොයි, දරුවොයි දෙගොල්ලොම ඒ තරම් කැපකිරීම් කරලා උසස් පෙළින් විෂයන් තුනටම ් සාමාර්ථ ගත්තත් විශ්වවිද්‍යාලයකට යන්න බැරිනම් මොකද්ද ඒ දරුවන්ට තියෙන අනාගතය. මේ නිසා ඔවුන්ට මේ සමාජය ගැන වෛරයක් ඇති වෙන එක වළක්වන්න බෑ. අන්තිමේ හැම බලාපොරොත්තුවක්ම ඉවරයි කියලා හිතලා, ඇතැම් ශිෂ්‍යයෝ සියදිවි හානිකරගන්න තැනට පවා වැටෙනවා. 
අපි අහනවා ඔබෙන්, කවුද ඔබේ දරුවට මේ අසාධාරණය කළේ? කවුද ඔවුන්ව මෙතැනට ඇදල දැම්මේ? ඇයි ඔවුන්ට විශ්වවිද්‍යාලයකට යන්න බැරි? සුදුසුම් නැති නිසාද? නැත්නම් කරුමෙද? පවද? දෙවියන්ගෙ කැමැත්තද? ඔබට අවශ්‍ය නම් මේ මොකක් හරි එකක් කියලා හිතලා හිත හදාගන්න පුළුවන්. හැබැයි අපි හිතනවා, ඔබේ දරුවට මෙවැනි ඉරණමක් අත්වෙන්න හේතුව මේ එකක්වත් නෙවෙයි. 

ප‍්‍රශ්නෙ තමයි විශ්වවිද්‍යාලවලට බඳවාගන්නේ 25000යි. මොකද දැන් තියෙන විශ්වවිද්‍යාලවල ඊට වඩා ශිෂ්‍යයෝ බඳවාගන්න ඉඩ පහසුකම් නෑ. ඒ නිසා හරි පැහැදිලියි උසස් පෙළ විභාගයට ලියන සියලූම ශිෂ්‍යයෝ සියලූම විෂයන්ට ‘‘ඒ’’ සාමාර්ථ අරගෙන සමත් වුණත් බඳවාගන්න පුළුවන් 25000ම තමයි. ඉතින් අපි අහනවා ඔබෙන්, ඔබේ දරුවට යන්න විශ්වවිද්‍යාලයක් නැති එකට කවුද වැරදි? අන්තරේද?

දැන් හු`ගක් අය අහනවානෙ අපෙන්, මේ දරුවෝ ඉගෙනගන්න එපාද කියලා. අපි ඔබෙන් අහන්න කැමතියි, ඒ ප‍්‍රශ්නය අහන්න  ඕන අපෙන් ද නැත්නම් ආණ්ඩුවෙන් ද? රටේ දරුවන්ගෙ අනාගතය ගැන හිතන එක රජයේ වගකීම. ඒක කරන්න  ඕන ආණ්ඩුව මිසක් අපි නෙවෙයි. ඒක නොකරනව නම් අපිට සිද්ධ වෙනවා, ආණ්ඩුවට බල කරන්න, අපිට ඉගෙනගන්න දෙන්න කියලා. ආණ්ඩුවට  ඕනකමක් තියෙනව නම් මේ ප‍්‍රශ්නය විසඳන්න බැරි නෑ. විශ්වවිද්‍යාලවලට ප‍්‍රතිපාදන වැඩි කරලා, පහසුකම් පුළුල් කරා නම්, දැනට තියෙන විශ්වවිද්‍යාලවලට අමතරව අළුතෙන් විශ්වවිද්‍යාල පටන්ගත්තා නම් මේ ප‍්‍රශ්නය එන්නෙ නෑ. මේ හැමෝටම ඉගෙනගන්න අවස්ථා හදන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට දැනට වෙන් කරන ප‍්‍රතිපාදනත් කපලා විශ්වවිද්‍යාල වහන්න හදද්දි, ඉඩ තියෙන ප‍්‍රමාණයටවත් බඳවා නොගද්දි මෙවැනි තත්ත්වයක් ඇති වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ නිසා අපේ දරුවොත් ඉගෙනගත්තම මොකද කියල අන්තරෙන් අහල වැඩක් නෑ. අපි ඔක්කොම ඒක ආණ්ඩුවෙන්, පාලකයන්ගෙන් අහමු. මොකද ඔවුන් තමයි මේවට වගකියන්න  ඕන. 
දැන් මෙන්න මේ ප‍්‍රශ්නයට තමයි ආණ්ඩුව කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්න  ඕන කියලා. එතකොට අන්න ඒකට විරුද්ධවෙන අය, අන්තරේ, වමේ පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් ක‍්‍රියාකාරිකයින් මේ කාට වුණත් අන්තිමේ ද්‍රෝහී ලේබලය ඇලවෙන එක වළක්වන්න බෑ. මේ රටේ හැම දරුවෙක්ටම මුදල් ගෙවීමකින් තොරව, හොඳ අධ්‍යාපනයක් ලබාගැනීම වෙනුවෙන් පෙනී ඉන්න අපි ද, නොමිලේ ලබාදිය හැකි අධ්‍යාපනයටත් මිලක් නියම කරලා, ධනපතියො කීප දෙනෙක්ට අධ්‍යාපනයත් විකුණන්න අවස්ථාව හදලා, අධ්‍යාපනය හරහාත් මේ රටේ ජනතාව කොල්ලකන්න හදන අය ද සැබෑ ජනතා ද්‍රෝහීන් කියන එක ඔබ තීරණය කළ යුතුයි. 
අධ්‍යාපනය විකුණනවට අපි විරුද්ධයි. හැබැයි සමහරු කියන්න උත්සාහ කරනවා වගේ අපි විරුද්ධ වෙන්නේ උසස් පෙළ සමත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලයක් දෙන්න හදනවට නෙවෙයි. අපි ඉල්ලන්නෙත් මේ ශිෂ්‍යයින් සරසවියට බඳවාගන්න.. ඔවුන්ටත් ඉගෙනගන්න දෙන්න.. අපි ඒකට විරුද්ධ නෑ. හැබැයි එහෙම කියලා පෞද්ගලික විශ්වවිද්‍යාල දානවට අපිට එකඟවෙන්න බෑ. 
මොකද අපි මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වෙන්නෙ මේ ප‍්‍රශ්නයට උපාධි කඩ අරින එක උත්තරයක් නොවෙන නිසයි. මේ අරින උපාධි කඩවලට උසස් පෙළ සමත් වුණා කියලා ඔබේ දරුවට යන්න බෑ. මේවට බඳවාගැනීමේ මූලික සුදුසුකම උසස් පෙළ සමත්වීම නෙවෙයි. අයකරන ගාස්තු ගෙවන්න පුළුවන් ද කියන එක. ඒ නිසා ගෙවන්න බැරි කාටවත් මේවගෙ ඉගෙනගන්න තියා පස් පාගන්නවත් අවස්ථාව ලැබෙන්නේ නෑ. 
නිදසුනක් විදිහට, ඔබ නිකමට හිතන්න ඔබේ දරුවා උසස් පෙළ ඉහළින්ම සමත්. විද්‍යා අංශයෙන් සියලූම විෂයන්ට ් සාමාර්ථ ලබාගත්ත කියලා. කොහොම හරි ලකුණක් දෙකක් මදිවෙලා රජයේ විශ්වවිද්‍යාලවල කිසිම වෛද්‍ය පීඨයකට යන්න බෑ. ඒ ලකුණු මදි නිසා නෙවෙයි. මේ පීඨවල ඉඩ පහසුකම් මදි නිසා. දැන් ඔන්න මාලඹේ සයිටම් එක තියෙනවා. ඒක පටන්ගත්තේ ඔබේ දරුවා වගේම උසස් පෙළ සමත්, රජයේ ඒවට යන්න බැරි අයට යන්න කියලනේ. දැන් අපි අහන්න කැමතියි, ඔබේ දරුවට මාලඹේ සයිටම් එකට ගිහින් වෛද්‍ය වරයෙක් වෙන්න පුළුවන් ද? ඔබ කම්කරුවෙක් නම් ඔබේ මාසික ආදායම කීය ද? උපරිම වුණොත් රු. 30000 ක් වෙයි. ඉතින් ඔබට පුළුවන් ද ඒ වැටුපෙන් ලක්ෂ 120 ක් ගෙවලා ඔබේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න.. සාමාන්‍ය රජයේ සේවකයෙක්ට, පෞද්ගලික අංශයේ සේවයෙක්ට, ගොවියෙක්ට, ධීවරයෙක්ට පුළුවන් ද ඔවුන්ගෙ දරුවෝ සයිටම් එකට යවන්න. ලක්ෂ 120 ක් ගෙවන්න මේ කාටවත් පුළුවන් කියලා 
අපි හිතන්නේ නෑ. 
අපි හිතමු ඔබ වැඩ කරන්නෙ මාස් හෝල්ඩින් කම්පැණි එකේ කියලා. මේක ඇඟළුම් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ සමාගමක්. ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන්වන විදිහට, මේ සමාගමේ සේවක සේවාවිකාවෝ 79000 ක් පමණ සේවය කරනවා. මේ පිරිසෙන් වැඩිම පිරිස සමාන්‍ය වෙළඳ සේවක සේවිකාවෝ කියන එක හරි පැහැදිලියි. මොවුන්ගේ අවම වැටුප 15000 යි. කම්කරු නීතිවලට අනුව සතියකට කරන්න පුළුවන් උපරිම අතිකාල සේවා ප‍්‍රමාණය පැය 12 යි. මේ පැය 12ත් කරලා, හැමදාම ඇවිත් ඒ කියන්නේ මළ ගෙදරක්, ම`ගුල් ගෙයක්, තමන්ගෙ දරුවගෙ පාසලේ රැුස්වීම මේ ඔක්කොම අත ඇරල වැඩට ඇවිත් පැමිණීමේ දීමනාවයි, හොඳටම වහලෙක් වගේ වැඩකරාම හම්බවෙන තරුයි ඔක්කොම අරගෙන අන්තිමේ 25000 - 28000 ක් අතර වැටුපක් ගන්න පුළුවන්. මේ ටිකක් හොඳයි කියලා සමහරු හිතාගෙන ඉන්න ගාමන්ට් පැක්ටරි එකක තත්ත්වය. අනෙකුත් ඒවගෙ තත්ත්වය මීටත් වඩා අන්තයි. මුළු මාසයක් වැඩකරත් රු. 25000 ක් ගන්න බෑ. ඇතැම් ඒවගෙ කම්කරුවෝ අතිකාල පැය 30 - 40 ක් විතර වැඩ කරලත් 30000ක් ගන්න බෑ. සතියකට පැය 30ක්  ඕ.ටි කරා කියලා හිතුවොත් දවසකට පැය 3 ක් 4 ක් පැය 8ට අමතරව වැඩ කරල, සෙනසුරාදා ඉරිදා, නිවාඩු දවස් මේ හැමදාම වැඩ කරල තමයි මේ සොච්චම් පඩිය ගන්න පුළුවන්. ගාමන්ට් පැක්ටරි 280 ක, මේ විදිහට වැඩකරන කම්කරුවෝ 375000 ක් විතර ඉන්නවා. ඔබ හිතනව ද මේවගේ කම්කරුවෙක්ට තමන්ගෙ දරුවා ලක්ෂගාණක් ගෙවල උගන්වන්න පෞද්ගලික විශ්වවිද්‍යාලවලට දාන්න පුළුවන් කියලා. අඩුම තරමේ මෙවැනි කම්කරුවන්ට මේ ලැබෙන සොච්චමෙන් මාසෙ අවම නඩත්තුව වත් කරගන්න බෑ. හැබැයි මේවගෙ අයිතිකාරයන්ට පුළුවන් ඔවුන්ගේ දරුවෝ මේවට යවන්න. ආණ්ඩුව කා වෙනුවෙන් ද පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්නේ. ගාමන්ට්වල වැඩකරන 375000ක් වෙච්ච කම්කරුවො වෙනුවෙන් ද? නැත්නම් මේ සියලූ කම්කරුවන්ගෙ ශ‍්‍රමයේ වටිනාකම් කොල්ලකන ධනපතියො කීපදෙනා වෙනුවෙන් ද කියන එක හරි පැහැදිලියි. 
ලංකාවෙ වතු කම්කරුවො ඉන්නවා 193000ක්. මොවුන්ගේ දෛනික වැටුප කීයද? රු. 500 ක් වත් නෑ. මාසෙකට ලැබෙන්නේ දින 30ම වැඩ කරත් රු. 15000 යි. එක දවසක් හරි නිවාඩු ගත්තොත් මේ ගාන ලැබෙන්නෙත් නෑ. අපි අහනවා මොවුන්ට පුළුවන් ද ඔවුන්ගේ දරුවෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්න. වතු සමාගම් තියෙනවා 26 ක්. 22 ක් පෞද්ගලික අංශයේ, 4 ක් ආණ්ඩුවේ. අන්න මේවගෙ අයිතිකාරයන්ටයි, කළමනාකරුවෝ තුන්හතර දෙනෙක්ටයි පුළුවන් තමන්ගේ දරුවො මේ අරින පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්න. එහෙම නැතුව වතුකම්කරුවන්ට නම් බෑ. ආණ්ඩුව 193000ක් වතුකම්කරුවන්ගෙ දරුවන්ට යන්න හරිහමන් පාසලක්වත් හදන්නේ නැතිව වතු කොම්පැනි හිමිකරුවො කීපදෙනෙක් වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල අරිනවා. වතුකම්කරුවන්ට විතරක් නෙවෙයි ගොවියගෙ, ධීවරයගෙ තත්ත්වය ගත්තත් මීට වැඩි වෙනසක් නෑ. ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 20 ක් පමණ ඉන්නේ ගොවියෝ. මේ ප‍්‍රමාණෙන් වැඩි ප‍්‍රමාණයක් ඉන්නේ වී ගොවියෝ. වී ගොවියන්ගෙන් 90 ක්ම අක්කර 2 ක් විතර වගා කරන අය. අක්කර 2 ක හොඳටම ගොයම් පැහුණොත් වී කිලෝ 5000 ක් ගන්න පුළුවන්. අපි හිතුවොත් වී කිලෝ එකක් රු. 40ට දුන්න කියලා (මේ ගාන කවදාවත් ලැබෙන්නේ නෑ* ලක්ෂ 2 ක් ගන්න පුළුවන් වෙයි. මේ ආදායම ගන්න වියදම යනවා 90000 ක් 100000 ක් විතර. අපි හිතුවොත් ට‍්‍රැක්ටරයක් තියෙන ගොවියෙක් කියලා, එහෙම වුණත් 80000ක් විතර යනවා. එතකොට ලාභය කීයක් ගන්න පුළුවන් වෙයි ද? උපරිම වුණොත් ලක්ෂයක් ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මාස 6 කට තමයි ලක්ෂය. මාසෙකට කීයද, 20000ක වත් ආදායමක් නෑ. අපි අහනවා මේ රටේ ගොවි ජනතාවගෙන් ඔබට පුළුවන් ද ඔබේ දරුවා ලක්ෂ 120 ක් දීල මාලඹේට නෙවෙයි අඩුම තරමේ ලක්ෂයක් දෙකක් ගෙවන විශ්වවිද්‍යාලයකටවත් දාන්න. අපි හිතුවොත් අල වගාකරන ගොවියෙක් ගැන. සාමාන්‍යයෙන් අල ගොවියො වැඩ කරන්නෙ අක්කරයයි. නැත්නම් අක්කර භාගයයි. අක්කරයක් වැඩ කරන ගොවියෙක් කියලා අපි හිතුවොත්, අක්කරයකට අල කිලෝ 800ක් විතර හැදෙනවා. හොඳටම අස්වැන්න තිබුණොත් බීජ අල කිලෝ එකකකට අල කිලෝ 8 - 10 ක් ගන්න පුළුවන්. හැබැයි මේ ගාන එන්නෙ කලාතුරකින් තමයි. මේ කාලෙ කිලෝ එකකට අල කිලෝ 4 කවත් අස්වැන්නක් නෑ. අපි හිතුවොත් බීජ අල කිලෝ එකකට කිලෝ 5 ක අස්වැන්නක් තිබුණ කියලා, එතකොට අස්වැන්න අල කිලෝ 4000 යි. අල කිලෝ එකක් රු. 80 ට දුන්න කියල හිතුවොත් (හැබැයි අපි දන්නවා අල කිලෝ එක 50ටවත් දෙන්න බැරි වෙලාවල් තියෙනවා* ගන්න පුළුවන් ආදායම 320000යි. බීජවලට විතරක් ලක්ෂයකට වඩා යනවා දේශීය බීජනම්. ආනයනික බීජ ගත්තොත්, 150000ක් වත් යනවා. තෙල් බෙහෙත් පොහොර, මේ ඔක්කොම එක්ක ගත්තම 260000ක් විතර යනවා වියදම විතරක්. එතකොට ලාභයක් කියල ලැබෙනව නම් ලැබෙන්නෙ කීය ද කන්නයකටම 170000 යි. එතකොට අල ගොවියට මාසෙකට 30000 ක් වත් ගන්න බෑ. එළවළු පළතුරු මේ මොනදේ වගා කරන ගොවියව ගත්තත් මේක තමයි පොදු තත්ත්වය. අපි අහනවා මාසෙකට 30000කවත් ආදායමක් නැති මොවුන් කාට ද පුළුවන් ලක්ෂ ගණන් දීල ඔවුන්ගේ දරුවන්ට උගන්වන්න. 
ඒ විතරක් නෙවෙයි රජයේ, පෞද්ගලික අංශයේ හා අනෙකුත් වෘත්තීන් කරන අයගේ තත්ත්වය ගත්තත් මීට වැඩි වෙනසක් නෑ. ගුරු වෘත්තියේ ඉහළම වැටුප ඒ කියන්නේ ‘‘ඒ’’ ශ්‍රේණියේ ගුරුවරයෙක්ට ලැබෙන්නෙත් 42000 - 43000 ක් අතර වැටුපක්. සාමාන්‍ය ගුරුවරයෙක්ට 32000කට වැඩිය ගන්න බෑ. ඒ ශ්‍රේණියේ ගුරුවරයෙක්ටවත් පගා ගැහුවෙ නැත්නම් තමන්ගේ දරුවෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යවන්න බෑ. ඒ විතරක් නෙවෙයි අනෙකුත් සාමාන්‍ය රජයේ සේවකයෝ සැලකුවත් මාසෙකට රු. 40000ක් ගනියි උපරිම වුණොත්. කුලී වැඩ කරන, ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ වැඩ කරන, බස් රියදුරන්ගේ, කොන්දොස්තරලගෙ, සාප්පු හා කාර්යාලවල මාසෙකට දහ පහළොස් දාහක සොච්චම් වැටුපකට වැඩ කරන මේ කාගේ වුණත් ආර්ථික තත්ත්වය මේකම තමයි. 
ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව ජනගහනයෙන් 42%ක්ම දෛනිකව ලබන්නෙ ඇමරිකන් ඩොලර් 3කට වඩා අඩු ආදායමක්. ඒ කියන්නෙ දවසකට රු. 500ක් වත් ලැබන්නෙ නෑ. මේ තමයි රටේ ජනගහනයෙන් 90%කම ජීවිතවල සැබෑ තත්ත්වය. ඉතින් අපි අහනවා මේ කාටද පුළුවන් මිලියන ගණන් දීල දරුවන්ට උගන්වන්න. ඔබ මේ කුමන තරාතිරමක කෙනෙක් වුණත් ඔබට මේ ඉදිවන පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉඩක් නෑ. ඔබේ දරුවට විෂයන් තුනටම ඒ සාමාර්ථ තිබුණා වුණත් මාලඹේ සයිටම් එකට ඔබේ දරුවා යවන්න බෑ
මොකද ඔබට ලක්ෂ 120 ක් හොයන්න බෑ. නමුත් ඔන්න ඔබ වැඩ කරන කම්පැණි එකේ ලොක්කගෙ දරුව ඉන්නවා. එයාට වැඩ තුනටම සාමන්‍ය සාමාර්ථ (s) තියෙන්නේ. නැත්නම් වැඩ තුනම ෆේල්. හැබැයි එයාට පුළුවන් ලක්ෂ 120 ක් ගෙවන්න. ඉතින් අන්න එයා සයිටම් එකට යනවා වෛද්‍යවරයෙක් වෙන්න, ඔබේ දරුවට වඩා අඩු සාමාර්ථ තිබිලත්. හැබැයි ඔබේ දරුවට ඉහළම සාමාර්ථ තිබිලත් යන්න බෑ. දැන් අපි දන්නවා බස් ඩ‍්‍රයිවර්ලගෙ, කොන්දොස්තරලගෙ දරුවො ඇති  ඕන තරම් උසස් පෙළ සමත් වෙච්ච හැබැයි සරසවි යන්න බැරි. ඒ කවුරුවත් මාලඹේට ගිහින් නෑ. හැබැයි බස් ගැමුණුගෙ දරුවා මාලඹේට යනවා. අපි මේ කියන්නෙ ගාමන්ට්, වැවිලි මේ මොන ක්‍ෂේත‍්‍රයේ වුණත් සමාගම් අයිතිකාරයන්ගෙ දරුවො හරි බස් ගැමුණුගෙ දරුවො හරි ඉගෙනගන්න එක වැරදියි කියන එක නෙවෙයි. ඔවුනුත් අධ්‍යාපනය ලැබිය යුතුයි. හැබැයි ඔවුන් විතරක් නෙවෙයි, මේ රටේ හැම දරුවෙක්ටම ඒ අවස්ථාව තිබිය යුතුයි. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්නේ මේ අතලොස්සක් වෙච්ච ලක්ෂ 120 ක් ගෙවන්න පුළුවන් පිරිසක් සහ අධ්‍යාපන කඩ දාල ලාභ උපයන්න පුළුවන් ධනපතියො වෙනුවෙන් මිසක් පොදු ජනතාව වෙනුවෙන් නෙවෙයි. ඒ කියන්නෙ මේකෙන් උසස් පෙළ සමත් වෙච්ච ඒත් සරසවි යන්න බැරි අයට සරසවි යන්න ඉඩ ලැබෙනවා කියන එක මිථ්‍යාවක් විතරයි. 
උසස් පෙළ සමත් කාටත් උපාධියක් ගන්න පුළුවන් තත්ත්වයක් හදන්න නම් අවශ්‍ය ඒකට තියෙන්නෙ එක උත්තරයයි. ඒ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කරලා, අලූතෙන් තව විශ්වවිද්‍යාල පටන්ගෙන බඳවාගැනීම් වැඩි කරන එක. හැමෝටම උසස් අධ්‍යාපනට ඉඩකඩ හදන එක. ඉතින් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔබ තීරණය කරන්න ඔබ මෙතනින් මොකක් වෙනුවෙන් ද පෙනී ඉන්නෙ කියලා. උසස් පෙළ සමත් වැඩි පිරිසකට සරසවි යන්න බැරි ප‍්‍රශ්නයට උත්තරය, පෞද්ගලික විශ්වවිද්‍යාල නෙවෙයි. ඒක ව්‍යාජ විසඳුමක්. රැුවටීමක් විතරයි. ඒ නිසා අපි කළ යුත්තේ අධ්‍යාපනය මුදලට තීරණය කරන උපාධි කඩ දාන එක වෙනුවෙන් පෙනී ඉන්න එක නෙවෙයි. ඒකට විරුද්ධ වෙන එක. විරුද්ධ වෙන ගමන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කරන බඳවාගැනීම් වැඩිකරන්න බලපෑම් කරන එක. නොමිලේ කාටත් පොදු ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් සටන් වදින එක. ඒ ඇර වෙන් උත්තර නෑ. 



මාතලන්, එයාල නඩරාසව මරලා

මාතලන්, එයාල නඩරාසව මරලා

එය මුළින්ම මාධ්‍ය හමුවේ දිග හැරුණේ රිය අනතුරක් ලෙසය. නමුත් එම ස්ථානයේ තිබූ වෙඩි උණ්ඩත් සමග සැගවිය නොහැකි ලෙස එය ඝාතනයක් බව පැහැදිලි විය. මෝටර් බයිසිකල් අනතුරක් පිළිබද ප‍්‍රචාරය, ඝාතනය, සරසවි සිසුන් දෙදෙනෙක් මේ වදන් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ හදවත් මොහොතකට සසළ කරවන ආදරණීය සටන් සගයන් දෙදෙනෙකුගේ වෙන්වීම සිහිකරයි. ඒ ජනක සිසිත ඝාතනයයි. මිලියන විස්සක් සිටින රටක මිනිසුන් දෙදෙනෙක් මියගිහින් ලෙස අපට මේ මරණයන් කාලයේ අවකාශයේ දියව යන්නට දිය හැක. නමුත් ඉතිහාසය තුළ අපිට ඒ පිළිබදව අත්දැකීම් ඇත. රට පුරාවූ අතුරුදහන්වීම් ඝාතන හමුවේ අපිද මුනිවත රැුක්කෙමු. තම ක‍්‍රමයට අභියෝග කරන්නන්ට ධනපති මර්දන යාන්ත‍්‍රණයන් භේද නොමැතිව තම බයිනෙත්තු කට හරවන බව අපට මග ඇරුණි. අවසන ඒ මර්දනයේ හස්තයන් අප පසුපස ලූහුබදින්නට විය. මාතලන්ලා ටොක්කලා ඒ මර්දනයේ අදුරු සෙවණැලි අතර සගවා ගන්නා ලදී. අද යාපනයෙන් එම ඝාතන සංස්කෘතිය බෞතීස්ම ලැබුවහොත් හෙට අපේ දොරටද එය තට්ටු කරණු ඇත. එබැවින් බසයකට බලූ පැටියෙක් යටවී මිය ගියා සේ අනේ අපොයි කියා මනුෂ්‍ය ඝාතනයකට සැහැල්ලූ වන්නට ඉඩදිය නොහැක. ඒ මනුෂ්‍ය ජීවිත වලට හිමි වටිනාකම හිමිකර දිය යුතුව ඇත.
අනෙක් අතින් මේ ඝාතනය සිදුවන්නේ යාපනයේදීය, එසේම ඒ තමිල් සහෝදරයන් දෙදෙනෙක්ය. කෙනෙකුට අසන්නට පුලූවන් දෙමළ මිනිස්සු මැරුණම විතරද දැන් ප‍්‍රශ්නෙ? එයාල විශේෂද වගේ දෙයක්. ඇත්තටම ඔවුන්ට අපට වඩා සුවිශේෂී තත්වයන් ඇත. දශක ගණනාවක් යුද්ධයෙන් පීඩාවට පත් සමාජයක ඔවුන් යුද්ධයෙන් පසුව පරාජිත හැගීමකින් පසුවෙයි. යුද්ධය දකුණේ ජයග‍්‍රහණයක් නොවේ අපි හැමෝගෙම ජයග‍්‍රහණයක් වැනි දේවල් කියමින් අප මොනතරම් හයියෙන් බෙරිහන් දුන්නද ඵලක් නැත. එය ඔවුන්ට පරාජයක් ලෙස දැනෙයිනම්. ජාතිවාදී බෙදුම් ඉරි මත යැපෙන ධනේෂ්වර දේශපාලන න්‍යාය පත‍්‍රයගෙන් ඔබ්බට ගොස් උතුරේත් දකුණේත් පීඩිතයින් එකට එක්ව මෙතෙක් කල් වැරදි දෙසට යොමුවූ සටන තම නිවැරදි සතුරා දෙසට දිශාගත කරන්නට කාලය පැමිණ ඇත. වෙනත් තරුණියක සමග පෙම්කරමින් සිට හසුවී වේදනාවෙන් හඩන තම පෙම්වතියට තමන් ඇයට අවංකව ආදරය කරණ බවට පෙම්වතා කට වචනයෙන් කියූ පමණින් ඇගේ වේදනාව නැතිවී යන්නේවත් ඇයගේ සිතෙහි ඔහු ගැන විශ්වාසයක් ගොඩ නැගෙන්නේවත් නැත. එලෙසට අපිද යාපනයේ තමිල් සහෝදර සහෝදරියන්ට එන්න අපි එකතුවෙලා සටන් කරමු කියූ පමණින් ඔවුන්ට තකහනියේ අප වෙත දිව එන්නට තරම් පිරිසිදු අතීතයක් අපට නැත. එබැවින් ඒ අහිමි කරගත් විශ්වාසය දකුණ දිනාගත යුතුව ඇත. එසේ නොමැතිව යාපනයට යන පාර කාපට් කර අයිස් කීී‍්‍රම් කඩ දැම්මාට ප‍්‍රශ්න විසදෙන්නේ නැත.
එවන් කාල සමයක මෙවැන් ඝාතනයන් තවත් එක් මරණයකට වඩා වැඩි දෙයකි. ඒ මරණයන් මත ජාතිවාදී දේශපාන පිසාචයින් නැගී නොසිටින්නට අප එම අවකාශයන් වෙත නිවැරදිව ප‍්‍රවේශ විය යුතුව ඇත. විශේෂයෙන් ලාංකීය ශිෂය ව්‍යාපාරය ලෙස අපටද එම වගකීම ඇත. ශිෂ්‍ය ව්‍යාපාරයට අදාලව යාපනය තමිල් ජනයාගේ එක්තරා සළකුණකි. යම් යම් සබදකම් පැවතියද, යම් යම් සාමූහික කි‍්‍රයාමාර්ග ගත්තද තාම කැළණියට ජපුරට හෝ වෙනත් විශ්ව විද්‍යාලයකට යාපනය භෞතිකව ඇති කිලෝමීටර් දෙතුන්සීයකට වඩා බොහෝ දුරය. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපට ඔවුන්ද අපේ කරගත යුතුව ඇත. එයට අපිට කොළඹට වී උතුරට අත වනනවාට වඩා දෙයක් කරන්නට වනු ඇත. සරළව ඔවුන් වෙනස් වන්නටනම් අපද වෙනස් විය යුතුය. යාපනයෙන් කොළඹට නොව කොළඹින් යාපනයට පළමු පියවර එසවිය යුතුව ඇත. ඉතිං අප යාපනය සරසවියේ  සහෝදරයින් දෙදෙනාගේ ඝාතනය හෙළා දකින්නෙමු. ඔවුන්ට යුක්තිය ඉටුවීම වෙනුවෙන් පෙනී සිටින්නෙමු. හුදු උපයෝගීතා අර්ථයේ කණගාටුවකින් විරෝධයකින් ඔබ්බට ගොස් ජනක සිසිත මෙන්ම නඩරාසා හා පුවන්රාජා වෙනුවෙන්ද අපි සසළ වන්නෙමු.

රාජ්‍ය විරෝධී වැඩ

විශ්වවිද්‍යාල සහෝදර සහෝදරියන් මේ දින වල සිටින්නේ තමන්ගේ ගම වලය. ඒ විශ්වවිද්‍යාල නිවාඩු නිසා නොව.අධ්‍යාපනය විකිණීමට එරෙහි අරගලය පිලිබඳ ජනතාව දැනුවත් කිරීමට සහ ඊට එරෙහි වීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීම සඳහාය. එම දැනුවත් කිරීම් වල ප්‍රතිපලයක් ලෙස අද(08) වන විට ජනතා උද්ඝෝෂණ 23 ක් සිදු වී හමාරය.
මෙසේ අරගලය ඉදිරියට ගමන් කරද්දී ආණ්ඩුවේ නිල මර්දන යාන්ත්‍රණය සේම නිල නොවන මර්දන යාන්ත්‍රණ හරහා ද මෙකි උත්සාහයට අකුල් හෙලන්නට විය. ආණ්ඩුවේ නොනිල බලවේග වලට මෙම උත්සාහය යනු ආරම්භ කිරීමටත් පෙර කල නොහැක්කක් විය. අන්තරේ ජනතාව අතරට යාම අන්තරේ හුදකලා කිරීමක් ලෙස ඇතැමුන් හැදින්විය. එකී නොකී මෙකි කතන්දර විශාල ප්‍රමාණයක් කියවිණි. මතවාදීව ආණ්ඩුවට සහය දක්වන මෙවැනි කතා අතරතුර ආණ්ඩුවේ නිල මර්දනයද ක්‍රියාත්මක කෙරිණ. ඒ අනුව ගම වලට ගොස් ජනතාව දැනුවත් කරන පිරිස රාජ්‍ය විරෝධීන් ලෙස හංවඩු ගැසීම ආරම්භ වුයේ රජයේ බුද්ධි අංශ නිලධාරීන් ගම වටේ යවමිනි. ඉන් පසු පොලිසිය කෙලින්ම නිවෙස් වලට ගොස් තර්ජනය කරන්නට වුයේ උද්ඝෝෂණ වලට නොයන ලෙසත් එලෙස ගියහොත් එම පුද්ගලයින්  පිලිබඳ ඉහලට තොරතුරු සපයන බවත්ය. අද(08) ගල්ගමුව ප්‍රදේශයේ දැනුවත් කිරීම් සිදු කල සහෝදරියක් හා සහෝදරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය කරුණු දක්වන්නේ අනන්‍යතාව තහවුරු නොකළ බවට චෝදනා කරමිනි. පොලිසියට තොරතුරු දීමෙන් අපේ ආරක්ෂාවට වන්නේ අගතියකි. එ සඳහා  අත්දැකීම් අපට ඕනෑතරම් ඇත. පොලිසියට තොරතුරු දීම ප්‍රතික්ෂේප කිරීමට අපට ඕන තරම් හේතුද ඇත. එසේම ගම වල දැනුවත් කිරීම් සිදු කල සහෝදර සහෝදරියන් දැනුවත් කිරීම් සිදු කලේ අධ්‍යාපනය විකිණීමට විරුද්ධ වීම සම්බන්ධවයි. ආණ්ඩුවට අනුව එය රාජ්‍ය විරෝධී ක්‍රියාවකි. එසේනම් සෞඛ්‍ය විකිණීමට එරෙහි වීමද අයිතීන් ඉල්ලීම රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ය. නමුත් අප සියලු දෙනාට යහපත් ජිවිතයක් ගත කිරීමට නම් සියලු දෙනාට අයිතීන් සමානව හිමි වීම අත්‍යවශ්‍ය කාරණයකි. එසේ නම් එම අයිතීන් ඉල්ලීම රාජ්‍ය විරෝධී ක්‍රියාවක් ලෙස ආණ්ඩුව සලකන්නේ නම් අපට කීමට ඇත්තේ එකම එක දෙයකි ඒ ඔව් අප ඒ රාජ්‍ය විරෝධී ක්‍රියාවන් වල නිරත වන බවයි.
අද අපගෙන් තොරතුරු ඉල්ලා සිටියේ බලහත්කාරයෙනි.නමුත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනතට අනුව අපගේ ඇඟිලි සලකුණු වල සිට සියලු තොරතුරු ලබා ගත හැක. විද්‍යුත් හදුනුපත් ලැබුණු පසුව පොලිසිය අපෙන් තොරතුරු ඉල්ලා කරදර කරන්නේ නැත. ඔබ කොහේ කොතැනක කුමක් කලද ඔබ අපරාද කරුවෙකු බවට පත්කොට අත්අඩංගුවට ගත හැක. මෙරට නීතියට අනුව අයිතීන් ඉල්ලීම අපරාධයක් බව පිළිගෙන හමාරය. SAITM හි තිබී හොර බඩු රහස් පොලිස් භාරයට ගැනින. හොර බඩු අයිතිකාරයට කිසිම අවුලක් නැත. මේ නීතිය එහෙමය. උසාවිය නිහඩය. එ නිහඩ බව කී නිසා උසාවිය නිහඩයි තහනම් කෙරිණ. එසේ නම් දැන් නීතියේ ආධිපත්‍ය ගැන කතා කියූ ඇත්තන් දැන්ද මේ ගැන කතා කිවයුතුය. ඇඟිලි සලකුණු පනතට පාර්ලිමේන්තුවේ කිසිඳු විරෝධයක් එල්ල වුයේ නැත. එසේ නම් හෙට අප සියලු දෙනා ආරක්ෂක අංශ වලට ඇඟිලි සලකුණේ සිට සියල්ල ලබා දිය යුතුය. මේවාට එරෙහි වීම රාජ්‍ය විරෝධී නම්? අප රාජ්‍ය විරෝධී නොවී කුමක් කරන්නද?

යාපනයේ දැල්වුණු ගින්දරින් සුරුට්ටු පත්තු නොකරමු

යාපනය විශ්වවිද්‍යාලය තුල සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අවිශිබම යේ ස්ථාවරයට ඇතමෙකුගේ විවේචනයන් එල්ලවී ඇත. ඒ බහුතර විවේචනයන්හි පදනම බවට පත්වී ඇත්තේ නිදහස් අධ්‍යාපනයට අදාල අරගලය තුල අප පෙන්වන ජවයෙන් මෙම ගැටුමට මැදිහත් නොවීමත් මෙහි එක් පාර්ශවයක් වෙනුවෙන් සෘජුව පෙනී සිටිමින් අනෙක් පාර්ශවයට එරෙහි නොවීමත්ය. මෙහිදී අප මුල සිටම මෙම පහරදීම කිසිම අයුරකින් අනුමත නොකළ අතර එම කි‍්‍රයාව හෙළා දකින්නෙමු. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල තුල විවිධ ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් හා පහරදීම් ඇති නොවෙනවා නොවේ. ඒවාට අවිශිබමය මැදිහත්වෙන අතර ඒ එම ගැටලූ වලට පදනම් වූ හේතු සොයා බලා එම පාර්ශවයන් අතර සුහදතාවය ඇතිකොට නැවත එවැනි ගැටුමක් ඇති නොවීමට අවශ්‍යය තත්වයන් ඇති කිරීමටය. එක් ශිෂ්‍ය කණ්ඩායමකට විරුද්ධව උද්ඝෝෂණික තලයේ කි‍්‍රයමාර්ග තෝරමින් අප කිසිදු විටක එවැනි ගැටුම් වලට මැදිහත් වී නොමැති අතර එමගින් සිදුවන්නේ එම ගැටුම් තව දුරටත් වර්ධනය වීම බව අපි දනිමු. මෙම ගැටලූවට අදාලවද එලෙසින් මැදිහත්වී එම ගැටුම සමථයකට පත්කිරීමට අපි උත්සහ දරන්නෙමු. නමුත් මෙහිදී විශේෂිත තත්වයක් ලෙස මෙම ගැටුම යම් යම් පිරිස් තම දේශපාලන බලව්‍යාපෘතීන් තුල කළමණාකරනය කිරීමට උත්සහ ගනිමින් තිබේ. යාපනයේ සිසුන් අතර පවත්නා සැකය, අවිශ්වාසය දුරුකර මෙම ගැටුම සමථයකට පත්කිරීමට උත්සහ දරණ අතරම මතුවී ඇති අවස්ථාවාදී දේශපාලන උපායන්ද පරාජය කිරීමට අපට සිදුව ඇත.
මෙහිදී දෙමළ සිසුන් සිංහල සිසුන්ට පහරදී ඇත යන්න උලූප්පමින් දකුණේ සිංහල ජනයා අතර ජාතිවාදී ප‍්‍රවණතාවන් ඇති කිරීමට ඔවුන් උත්සහ දරමින් සිටී. එම ගැටුම තුල ජාතිවාදය කි‍්‍රයාත්මකවූ බව අපි ප‍්‍රතික්ෂේප නොකරමු නමුත් සිංහල සිසුන් කෙරෙහි හදිසියේ පහලවූ දයාවකින් කටයුතු කරණ මෙම ඇතැම් පිරිස්වල අරමුණ අප පැහැදිලි කරගත යුතුය. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන්ම වත්මන් පාලකයන් යටතේද විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් දිගින් දිගටම ආරක්ෂක අංශවල පහරදීම් වලට ලක්විය. එම පාහරදීම් වලට ගොදුරුවූ සාතිශය බහුතරයක් සිංහල වාර්ගිකත්වයට අයත් සහෝදර සහෝදරියන්ය. ජානක, සිසිත සහෝදරවරුන් කෲර ලෙස ඝාතනයටද ලක්විය. ඒ කිසිම විටක මේ පිරිස් මෙලෙස සංවේදීවනවා හෝ ඒවාට විරුද්ධවනවා අපි නොදැක්කෙමු. ඒ වෙනුවට ඇතමෙකු එම පහරදීම් සාධාරණීකරණය කරමින් ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින ලදී. එබැවින් මේ එම යාපනය විශ්වවිද්‍යාලයේදී පීඩාවට පත්වූ සහෝදර සහෝදරියන් කෙරෙහිවූ මානුෂීය කම්පනයකින් පැන නගින විරෝධයක් නොව අවස්ථාවදී දේශපානව උවමනාවක් බව අප වටහාගත යුතුය. දැන් උතුරේ ජාතිවාදී දේශපාලන නායකයන් දකුණේ විශ්වවිද්‍යාලයක තමිල් සිසුන්ට සිංහල සිසුන් පහරදෙන තුරු මහත් ආස්වාදයෙන් බලා සිටිනවාට සැක නැත. මේ වන විට අධ්‍යාපනයට අදාලව මෙන්ම අනෙකුත් සෑම ක්ෂේත‍්‍රයකට අදාලවම ගැටළු මතුවෙමින් ඇති අතර මිනිසුන් ඒවාට එරෙහිව අවදිවෙමින් සිටී. එවැනි වටපිටාවක ඒ සියළු අර්බුදයන් අවධානයෙන් බැහැර කරන්නට ජාතිවාදය පාලකයින්ට කදිම තුරුම්පුවකි. 
හෙට දවසේ යාපනය විශ්වවිද්‍යාලයේ එම සිසුන් සියළු දෙනාම ඊනියා ජාති ආගම් භේද අතහැර කලා සංස්කෘතික කටයුතුවල නිරතවනු දැකීම, එකාවන්ව තම අධ්‍යන සුභසාධන ගැටළු වෙනුවෙන් හඩනගනු දැකීම, නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් වූ අරගලයේ අප සමග එක පෙළට සිටගනු දැකීම අපේ බලාපොරොත්තුවයි. එසේ නොවී වැහැරෙමින් සිටින ජාතිවාදී ධනේෂ්වර දේශපාලන නායකයන්ට ඔක්සිජන් ලබාදීමට මෙම සහෝදර සහෝදරියන් පාවිච්චි කිරීමට ඉඩදිය නොහැක. යාපනයේ දැල්වුණු ගින්දරින් සුරුට්ටු පත්තුකරන්නට සිංහල දෙමල ජාතිවාදීන්ට ඉඩනොදී සියළු ආකාරයේ ජාතිවාදයන් පරදවමින් එම ගින්දර නිවා දැමිය යුතුව ඇත.

රාජිතගේ නොදියුණු සමාජය


සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට අනුව වත්මන් අප ජිවත් වන සමාජය නොදියුණු සමාජයකි.ඔහු මේ බව පැවසුවේ පසුගිය 7 වනදා ජාතික රුපවාහිනී සේවය ඔස්සේ විකශය වූ සාකච්ඡවකදීය.ඒ සදහා සම්බන්ධව සිටියේ රාජිත සේනාරත්න මහතා පමණි.රාජිත සේනාරත්නට අනුව මේ සමාජය නොදියුණු හැදින්වීමට හේතුව වන්නේ ආණ්ඩුවට එරෙහිව සමාජයේ පවතින විරෝධතා  උදඝෝෂණ‍ හේතුවෙනි.ඔහුට අනුව රනිල්-මෛත්‍රි ආණ්ඩුවෙන් මේ සමාජයට වෙනසක් සිදුව   ඇත.එසේ වෙනසකට එරෙහි වීම සිදුවන්නේ නොදියුණු සමාජයක ලක්ෂණයක් ලෙසයි.රනිල්- ආණ්ඩුව නිර්මාණය නිර්මාණය වූ පසු රාජිතගේ නොදියුණු සමාජයේ මිනිස්සු අරගල කල අවස්ථා කිහිපයක් මෙසේ සලකා බලමු.

  • බදගිරිය ජනතාව තමන්ට බිමට ඇති ජලය විෂ වීම හේතුවෙන් පිරිසිදු ජලය ඉල්ලීම.(මෙම උදඝෝෂණ‍යට පොලිස් ප්‍රහාර එල්ල විය.)
  • දබුල්ල හල්වෙහෙර ගොවින් තමන්ට වී වගා කිරීමට ඇති අයිතිය ඉල්ලීම.(උදඝෝෂකයෝ සිරගත කරන ලදී.)
  • කුණු කන්දක ජිවත්වීමට නොහැකි යෑයි පැවසු මිතොටමුල්ලේ ජනතාවට පහරදීම.(සිරගත කරන ලද්දේ පහරකෑමට ලක්වූ පිරිසය.)
  • කොටකෙත නායයෑමෙන් විපතට පත් ජනතාවට විරෝධය පෑමට ඇති නිදහස අධිකරණ නියෝග මගින් වැලැක්වීම.
  • නැවත ඉදිනොකරන බවට වරාය නගරය නැවත ඉදිකිරිම.
  • දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව පවසා බලයට පත් වී ඉන්පසු දේශපාලන සිරකරුවන් නොමැති බව පැවසීම.
  • පොහොර සහනාධාරය අහෝසි කිරීම.
  • ETF - EPF අරමුදල් එකතුකර ඒ මුදල් කොල්ලකෑමට උත්සහ කිරීම.
  • කම්කරු නීති ළිහිල් කිරීම.
  • ගුරු හිගය 
  • රැකියා විරහිතඋපාධිධාරීන්ගේ සටන.
  • තම දරුවට පාසැල නොමැති වීම.
  • බොරු චෝදනා නගමින් කැලණිය සරසවියේ සිසු සිසුවියන් 8 දෙනෙකු සිරගත් කිරීම.
  • රැස්වීමේ නිදහස වරදක් බවට පත් කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිව්දෙනෙකු සිරගත කිරීම.
  • අධ්‍යාපන පෞද්ගලීකරණ එරෙහි උදඝෝෂණ වලට පහරදීම සහ සංවිධාන අධිකරණයට කැදවීම.
  • සරසවි සිසුන්ගේ නිවෙස් වලට ආරක්ෂක අංශ ගොස් තර්ජනය කිරීම.

 තව නිදසුන් එමටය.
මේ අයිතීන් වෙනුවෙන්  කරන අරගල . එය මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයාට නොදියුණු සමාජයකි.තමන් පීඩාවකට පත්ව ඇති බවත් එසේ පිඩාවට පත් වන්නේ පාලකයින් පවත්වාගෙන යනු ලබන සමාජ ක්‍රමයේ වරදින් බවත් මිනිස්සුන්ට වැටහීමත් එම පාලනයට විරුද්ධව අරගල කරන්නට මිනිසුන්   තිරණය කිරීමත් රාජිතලාට නොදියුණුකමකි. මිනිසුන් නොදියුණු ලෙස සිටීම රාජිතලා නියෝජනය කරනු ලබන ධනපති පාලකයනට වාසි සහගතය.ඔවුන්ගේ බලාපොරොත්තුව එයය. නමුත් ප්‍රශ්න හමුවේ වෙන දේ බලා නොසිට විසදුම් සෙවීමට අරගල කලයුතුයැයි යන්න අවබෝධ කොටගත් මිනිසුන් සිටින සමාජයක් තම අණසකට ගෙන සුරා කෑම අපහසුය.ඒ නිසා රාජිතලාගේ හීනය නොදියුණු මිනිසුන් සිටින සමාජයකි.නමුත් රාජිතලාට අමතක වූ යමක් ඇත. ඒ මේ සමස්ථ ලෝකය යහපත් දියුණු සමාජයක් කිරීමේ බලපොරොත්තුව ඇති මිනිසුන් සිටින බවය.

දණින් වැටෙමුද? සටන් වදිමුද?

උණක් හෙම්බිරිසවක් ද? ඇඟ පත අමාරුවක්ද? හදිසි අනතුරකද? අසාධ්‍ය ලෙඩක්ද? පිළිකාවක්ද? සැත්කමක්ද? ගෙදර කාට හරි අසනීපයක්ද? පොඩි ලෙඩක් හැදුනත ජිවිතේ අවදානමක් අපි හැමෝටම දැනෙනවා 

ටිකක් හිතන්න ...
ඒ වගේ වෙලාවක අපි යනවා ජිවිතේ බේරගන්න  ඕන නිසා රෝහලකට.වෛද්‍ය වරයෙක් ගාවට.හැබැයි බෙහෙත් දෙන්න කලින් රෝහලේදී ඔබෙන් ඇහුවොත් ” බෙහෙත් ටික දෙන්න නම් මෙච්චර ගානක් ගෙවන්න  ඕන” කියලා ? ඔබට මොකක කරන්න වෙයිද? 
අපි කියනවා එහෙම වුනොත්  අපේ රටේ බොහෝ දෙනෙකුට ලෙඩ වලින් මැරිලා යන්න වෙනවා ජීවත් වෙන්න මොන තරම් ආසා උනත් මොනතරම් හීන තිබුණත් සල්ලි තියනවාද නැද්ද කියන එක මත ජීවත් වෙනවාද මැරෙනවා ද කියකන තීරණය ඉබේම අපේ අතට එනවා. 
ඇයි මෙහෙම වෙන්නේ?
කවුරු හරි පොඩඩිහරි කඩයක් දා ගන්නේ මොකටද?
ඒකෙන් කීයක් හරි ලාභ ගන්න නේද?
ලාභය වැඩි කරගන්න සමහර වෙලාවට විවිධ දෙවල් කරන්න වෙනවා. උදාහරණයක් විදිහට මිරිස් කුඩුවලට ගඩොල් කුඩු දානවා. ගම්මිරිස් ඇට වෙනුවට පැපොල් ඇට දානවා. එහෙනම් රෝහලක හරි වෛද්‍ය වරයෙකුගේ හරි බලා පොරෝත්තුව ලාභ ගනන් එක උනොත් ? ඒයාලට වැඩි පුර ලාභ ගන්න නම් අපි වැඩිපුර ලෙඞ්ඩු වෙන්න  ඕනනැද්ද? එක ලෙඩකට දෙන බෙහෙත්වලින් තව ලෙඩක් හැදෙනවානම් තමයි එයාලාට ලාභ හම්බවෙන්නේ. එහෙනම් පෞද්ගලික රෝහල්වල බලාපොරෝත්තුව ඒක නෙමෙයිද? පෞද්ගලික රෝහල්වලට ලාභ ගන්න රජයේ රෝහල් වල බෙහෙත් නැති වෙන්න  ඕන. පහසුකම් නැති වෙන්න  ඕන. දොස්තරලා නැති වෙන්න  ඕන. දැන් ඒක සිද්ධ වෙලාද නැද්ද කියලා. මේක කියවන ඔබ හොඳටම දන්නවා. 
අධ්‍යාපනයත් විකුණුවාම මොකද වෙන්නේ?
මේ කියපු දේවල් මේ වෙද්දිත් සිද්ධ වෙද්ධි තමයි,  මාළඹේSAITM හොර උපාධි කඩය අහෝසි කරන්න කියලා අපි කියන්නේ. පාසල්වලින් මුදල් අය කරන්න එපා කියන්නේ. අධ්‍යාපනය විකුණන්න එපා කියන්නේ. මොකද ඉගෙන ගනන් මුදල් වියඳම් කරන්න උනාට පස්සේ ඒ මනුස්සයාට  ඕන වෙනවා ඒ වියදම් කළ මුදල හොයන්න. එතකොට සමාජයට සේවයක් කරනවා කියන එක හරි, වගකිම් ගැන හරි හිතන්න වෙන්නේ නැහැ. රජයේ ආයතන වලින් ලාභ ගන්න බැරිනම්, පෞද්ගලික ආයතන පටන් ගන්නවා. හැමෝම ලාභ හොයන්න පටන් ගන්නවා. හැමෝම එක එක්කෙනාගේ ජීවිත කොල්ලකන්න උත්සහා කරන නරුම සමාජයක් හැදෙනවා. 
ඉතිං ආණ්ඩුව අපේ පැත්තේ ද?
මේ ප‍්‍රශ්නවලදි ආණ්ඩුව කාගේ පැත්තේද? රාජිත සේනාරත්න ඇමතිවරයා අපේ රටට  ඕන නැති බෙහෙත් ගේනන් නියෝග දුන්නා. ඒක කරන්න බැහැ කියපු ඖෂධ අධිකාරියේ නිලධාරින් එලවන්න කුමන්ත‍්‍රණය කරා. බොහෝ දෙනෙක්SAITM පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියද්දි, රාජිත කියනවා නැහැ ඒක  ඕන කියලා. වරාය නගරය (Port City) හදන්නේ නැහැ කිව්වේ රනිල් වික‍්‍රමසිංහම තමයි. ඒ ඡුන්දය ගනන් කළින්. හැබැයි දැන් ඒක අපාහු හදනවා. උද්ඝෝෂණවලට ගහන්නේ නැහැ කිව්වා. බඳගිරිය මීතොට මුල්ල අම්පාර, ජනතා උද්ඝෝෂණවලට ගැහුවා. අධිකරණ නියෝග ගෙනල්ලා විරෝධතා නැවැත්තුවා. අපිට පොලිස් ප‍්‍රහාර, සිරගත කිරීම් නඩු පැවරීම් හැමදාම. රනිල් වික‍්‍රමසිංහ කෙළින්ම කියනවා. අපි මේවා කරනවා කියලා. ජනාධිපතිවරයා මිනිස්සුන්ට බොරු කිය කිය රට වටේ ඇවිදිනවා. පාර්ලීමේන්තුව බලන්න. මිනිස්සුන්ට අවාසි දායක පනත් දෙකක් සම්මත උනා. තොරතුරු දාන ගැනීමේ අයිතිවාසිකම් පනත කියලා තොරතුරු දැන ගැනීම තහනම් කරපු පනතක් ගෙනාවා. අපේ ඇගිලි සලකුණු ලේ වර්ගය ඔක්කෝම විස්තර තියෙන ආරක්ෂක අංශවලට ගන්න පුලූවන්. විද්‍යුත් හැදුනුම්පත ගෙනාවා. පාර්ලීමේන්තුවේ කරවුරුත් විරුද්ධ උනේ නැහැ. එහෙනම් අපි කාවද විස්වාස කරන්නේ. නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ඉල්ලලා වෛද්‍යවරු වැඩ වර්ජනය කරනාවා. ශිෂ්‍යයෝ පංති වර්ජනය කරනාවා. මේවා ඔබ අපහසුතාවයට පත්වෙන දේවල් විදිහට පේන්න පුලූවන්. හැබැයි සටන් නොකළොත් අපි සියලූ දෙනාට නිකමම් මැරිලා යන්න වෙනවා. ඒ නිසා අපි ඔබට කියනවා, මේ කිසිම ප‍්‍රශ්නයකට උත්තර රනිල් මෛත‍්‍රි ගාව නැහැ. මහින්ද ගාවත් නැහැ. පාර්ලීමේන්තුවෙත් නැහැ කියලා ඔප්පු වෙලා ඉවරයි. එහෙනම් අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුලූ අයිතීන් දිනා ගන්න අපි සියලූ දෙනා එකතු වෙලා සටන් කරන්න  ඕන.

කැලණියට ලැබුණ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්න


  • මාර්තු  11 වනදා  ප්‍රථම වසර සිසුන්ගේ විෂයන් තෝරා නිදහස තහවුරු කරනු ලෙස පරිපාලනයට බල කිරීමට යොදා තිබු සත්‍යග්‍රහය සදහා සිසුන් ඒකරාශී වෙමින් සිටි ස්ථානයට පැමිණි ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂකවරයා සහ පැට්‍රික් රත්නායක ආචාර්යවරයා ඊට බාධා කිරීමත් සමග ඇති වූ තත්වය පදනම් කර ගනිමින් සිසුන් 8 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම.
  • අප්‍රේල් 26 වනදා  ජලයට බැක්ටීරියා මුසුවී ඇති බව පවසමින් නේවාසිකාගාර වලින් සිසුන් ඉවත් කිරීම(සොයාගත් බැක්ටීරියාවක් නොමැත)
  • අප්‍රේල් 28 වනදා  අනවසරයෙන් විශ්වවිද්‍යාල භුමියේ රැදී සිටියා යැයි පවසමින් සිසුන් 3 දෙනෙකුට නඩු පැවරීම.(ඒ වන විටත්  විශ්වවිද්‍යාල භුමිය තහනම් බව නිවේදනය කර නොතිබූ අතර එසේ නිවේදනය කලේ ඒ දින සවසය.)
  • අප්‍රේල් 28 වනදා  දෙවන වසර සිසුන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලිසියට කැදවීම.(නවකවදය සම්බන්ධ පැමිණිල්ලකට කටඋත්තර ලබා ගැනීමට)
  • මැයි     02 වනදා වෙනුර නේවාසිකාගාරයේ අනවසරයෙන් රැදී සිටියා යැයි 13 දෙනෙකුට නඩු පැවරීම. 
  • මැයි    05  වනදා ශිෂ්‍යාවන් 4 දෙනෙක් සහ ශිෂ්‍යන් 3 දෙනෙකු නවකවද චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම.
  • මැයි    12 වනදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කිරිබත්ගොඩ පොලිසියට පැමිණෙන ලෙස දන්වා ශිෂ්‍යන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම. 
  • අත්අඩංගුවට ගත සිසුන් 8 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම. 
  • මර්දනයට එරෙහිව සමාජ ජාල  වෙබ් අඩවි වල අදහස් පළ කල ප්‍රථම වසර සහෝදර සහෝදරියන් 20 දෙනෙකුගේ දෙමව්පියන් විශ්වවිද්‍යාලයට කැදවා තර්ජනය කිරීම හා බියවැද්දීම. 
  • දෙවන වසර සහෝදර සහෝදරියන් 30 දෙනෙකුගේ නිවෙස්වලට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කිරීම. 
  • සහෝදර සහෝදරියන් 17 දෙනෙකුගේ තොරතුරු ලබා ගැනීමට යැයි පවසමින් නිවෙස්වලට පොලිසිය ගොස් තර්ජනය කිරීම.
  • ජුනි 8 වනදා තෙවන වසර ශිෂයයෙකුට පැට්‍රික් රත්නායක ආචාර්යවරයා පහර දීම.
  • ජුනි 8 වනදා අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාරයේ මහා ශිෂ්‍ය සංගමය මගින් ගනු ලබන රැස්වීමට විනයාරක්ෂක නිලධාරීන්,පැමිණ බාධා කිරීම හා ඒ සම්බන්ධයෙන් බොරු චෝදනා යටතේ ජුලි මස 5 වනදා ශිෂ්‍ය ක්‍රියාකාරීන් උසාවි කැදවීම.
  • ජුනි 14 වනදා නැවත අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාරයේ රැස්වීම්  ගැනීමට පරිපාලනය බාධා එල්ල කිරීම සහ බොරු චෝදනා කරමින් උසාවි කැදවීම.
  • බුලුගහ හන්දියේ කාන්තා නේවාසිකාගාරයේ රැස්වීම් ගැනීම හේතු කර ගනිමින් එම නෙවසිකගරයේම සහෝදරියන් 4 දෙනෙකුට නේවාසිකාගාරයෙන් ඉවත් වන්නැයි පරිපාලනයෙන් දැන්වීම.
  • මංජුසාව කළා උළෙලට සම්බන්ධ වන ප්‍රථම වසර සිසුන්ට නේවාසිකාගාර අහිමි කරන බවට තර්ජනය කිරීම.
දෙනවා කිව්ව ප්‍රජාත්‍රන්තවාදය මේකද ?                        

සිනමා හළෙන් නැගෙන හඳයාගේ උද්ඝෝෂණය

සිනමා හළෙන් නැගෙන හඳයාගේ උද්ඝෝෂණය
“ඒ නිලන්කාර සිහිනෙන් ඇහැරෙන්න”

එදිනෙදා මුහුණ දෙන පීඩාවල්වල දී අපි අඬනවා, නැත්තම් පන්සල් යනවා එක්කෝ බොනවා. ඒත් ලංකාවේ ගැහැණිය බොන්නේ නැහැ කියලා එකකුත් තියෙනවනෙ. ඒ අභියෝගය හඳයා කලින් කියවලා තියෙනවා. කාලෙකට පස්සේ ආයෙත් අඳගම පායලා අපේ සිනමා අහසට. එහෙම හිතුණේ හඳගමගේ අලුත් ෆිල්ම් එක “ඇගේ ඇස අග” බලපු වෙලාවේ 

උගත් වියපත් මහාචාර්යවරයෙක්, තැන්පත් බිරියක්, ඉන්ටර්නැෂනල් ස්කූල් යන මැදිවියේ දුවෙක්, සරසවි ශිෂ්‍යාාවක්, මේ චරිත ටික අපේ භාෂාවෙන් කිව්වොත් මැද පන්තියේ සහ ඒ පන්තියට පනින්න ඉන්න සෙට් එකේ කතාවක් වගේ. මේ තෝරා ගැනීම හරි සුලභයි. හැබැයි හඳයා දකින පැත්ත හරි දුලබයි. “ඇගේ ඇස අග” අපේ ඒ ජීවන චක්‍රය පොඞ්ඩක් කරකවලා, ගොඩක් දෙදරවලා ආයේ කරකවලා අපේ ඔළුවට ගහන්නේ සනීපෙට වැදිලා පස්සේ රිදෙන්න. ඔලු කම්පනය වෙන්න.

අපිට පේන විදියට නම් මේක මේ පවතින සමාජ අර්බුදය ඇතුලේ පවුල දෙදරලා යන පැතිකඩක සංකීර්ණකම ෆෝකස් කරලා තියෙනවා. ඒ සිදධිය වටේට සිනමාවෙන් චිත්‍රණය කරන්න යන්නේ අපි නිදාගෙන ඉන්න හීනෙන් අවදි උනාම කෙලින පිස්සු. තවත් සරලව කිව්වොත් හුරුවිච්ච ජීවන චක්‍රයෙන් ගැලවෙච්චහම අපි පත්වන තත්ත්වය මොකක්ද කියලා හඳගම හොයන්න උත්සාහ කරනවා. හඳගමට ඒක සිනමාව ඇතුලේ හම්බවුණත්, තාමත් අපේ ජීවිත ඇතුලේ අපි ඒක හොයනවා, හොයන්න බය අය තාමත් නිදනවා 

කේන්ද්‍රීය චරිත කිහිපයකින් හඳගම හොදට වැඩ අරන් තියෙනවා. සරසවි ශිෂ්‍යාවගේ දක්‍ෂකමට ළං වෙනවා යැයි කියන මහාචාර්යවරයා ඇය එක්ක යහන් ගත වෙනවා. සරසවිවල අහන්න ලැබෙන ප්‍රසිද්ධ රහස හඳගම වෙන දිශානතියකට කරකවනවා. ඒ තමයි fමි වැඩිහිටි මහාචාර්යවරයා ඇගෙන් රති සුවය සොයද්දී, සිසුවිය ඔහුගෙන් ආදරය හොයනවා. මේ දෙන්නට දෙන්නා හොයනවා උනාට දෙන්නව හම්බවෙන්නේ තහනම කියන සමාජ සම්මතය තුළ යි. ඇත්තට නම් දෙන්නටම දෙන්නා වසඟ උනාට,  තහනම නිරාවරණය වෙන හැටි සිසුවිය හා මහාචාර්යවරයාගේ බිරිය සමග ඇති වන දුරකතන සංවාදයකින් එළියට එනවා. ඒ සමගම බිරිද සිසුවියව ගෙදරට කැඳවා නවාතැන් දීම නම් පොඩි ආකස්මික ගතියක් තියෙනවා. ඒ සිතුවිල්ලම වැරදි වග හැගෙන්නේ ඊලග රූප රාමු පෙළින්. ගමේ නම් කියන්නේ මේකට ගෑනු ගැට කියලයි. ඒක ඇත්තටම උපක්‍රමයක් මහාචාර්යවරයාගේ බිරිය යොදන. එහෙම ගත්තහම ඒ සිද්ධි පෙළ අතාත්ත්විකම නැහැ

ඊළග වැදගත්ම එක තමයි මේ සමාජ අර්බුධ සමනය කරගැනීමට අපි හොයන විකල්පය ආගමේ පිළිසරණ. ඇගේ ඇස අග කෘතිය ඒ විකල්පය ඒ ගැන ප්‍රශ්නයක් මතු කරනවා. ඒක මේ මොහොතේ හෝ සිනමාවට නැගීම පිළිබඳව අපිට නම් තියෙන්නේ පහන් හැගීමක් හඳගම ගැන.

කොහොම උනත් මේ සමාජ පීඩාවල් සමනයට ආගමේ තියෙන අසමත් කම අපි කතා නො කර බැහැ. මහාචාර්යවරයාගේ බිරිය නිවසේ බුදුන් වැදීම, පීඩාවේ තීව්‍ර වීමත් එක්ක පන්සලට යෑමට පුරුදු වීම දක්වා  රැගෙන යනවා. පන්සල් බිම කතාවේ සන්ධිස්ථානයක් බවට ගොඩනගන්නට හඳගම උත්සාහ කරනවා. පන්සලේ දී සුදන වෙස් ගත් මැද පාන්තික වහන්තරා පිටුපස හැන්ගිච්ච, ව්‍යාජ සභ්‍යත්ත්වය හිටි හැටියේ පුපුරනවා. හැබැයි ඒ සිද්ධිය මහාචාර්ය පවුල තුළින් නොවීමට හඳගම වග බලා ගන්නවා. පරුෂ වචනයෙන් බැන ගන්නා කාන්තාවන් දෙදෙනෙක්, ඒ ගැටුමට මුල්වන මැද පාන්තික ප්‍රභූවරයෙක් එහි දී ඒ කතාවට හඳගම ඈදගන්නවා. ගැටුමේ උච්චතම තැන දී පහන් වැට ඔසවා ගත් ප්‍රභූවරයාගේ බිරිද අනිත් කාන්තාවට ගහන්නට පැන්නීම, පිස්තෝලයකින් වෙඩිල්ලක් නිකුත් වන හඩ, පන්සලේ හාමුදුරුවන්ගේ මැදිහත් වීම, කියන සිද්ධි මාලාව සියුම්ව ගැටගහලා පීඩාවේ දී අපි තෝරා ගන්නා විකල්පය ප්‍රශ්න කරන්න හඳගම හදනවා. වැස්ස වෙලාවෙත් ගැටුම නතර වෙන්නේ නැහැ. ඒ වෙලාවේ එයින් තිගැස්මට පත් මහාචාර්ය පවුලේ පිරිස සහ සිසුවිය කාර් එකට පැන ගන්නවා. හැබැයි එතකොට ඒ හැමෝම වැස්සෙන් තෙමිලා තෙතබරි වෙලා. අපිට උනේ ම ඕකනේ. වැස්සට ගස් යටට දුවපු අපිට හැන්ගිලා පැනලා යන්න වහලක් හොයාගන්නේ තෙමුනට පස්සේ. 

ඉතින් මේ සමාජ වහන්තරා, ව්‍යාකූලතා ගොඩගහපු සමාජ ක්‍රමය ගැන සියුම් ව සිනාමා හළෙන් එළියට ඇවිල්ලා හිතන්න කාලය ඇවිල්ලා. ව්‍යාජයන් පසු පස දුවන හීනවල නිදන සමාජ සම්මත අසම්මතයන් අතර වසඟ වුණු අපිට ෆිල්ම් එකේ අවසානයේ එන තේමා ගීතයෙන් අදහසක් කුලුගන්වා ගන්න පුලුවන්. චිත්‍රපටය ගැන ද. නෑ.. නෑ මේ සමාජ ක්‍රමය ඇතුලේ බැටකාලා අසර වෙච්ච, පැටලිලි වෙච්ච අපි ගැන. ඒ තමයි “ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න” හඳගම අපිට කියන්නේ අන්න ඒ කතාව. ඉතින් කවුරුත් එන්නේ නැහැ. අහරන්න අපිටම තමයි වෙන්නේ අහරින්න.

-තැන්නේ ඤාණානන්ද හිමි