වතුර විතරක් නෙවෙයි වාතය ඉල්ලාත් ඉදිරියේදී සටන් කරන්න වේවි. - ධම්මික මුණසිංහ

dammika
ලංකාවේ උපාධිධාරියා පෙලන මූලික ගැටලුව වන්නේ උපාධියට සරිලන හා ජීවත් වීමට පුළුවන් වැටුපක් ලැබෙන රැකියාවක් ලබාගන්න එක. ඒ සදහා උපාධිධාරීන් කාලයක සිට අරගල සටන් මෙහෙය වමින් ඉන්නවා. නමුත් එකී ඉල්ලීමේ සාධනීය අංශු මාත්‍රයකට හෝ පිළිතුරු ලබාදීමට පවතින ආණ්ඩුව පියවර ගෙන නොමැති තත්වයක් තුල හෙට දවසේ රැකියාවක් ඉල්ලා සටන් කරන උපාධිධාරියාගේ ඉරණම කුමක්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද ඉන්ඩෙපෙන්ඩන්ට් සංවාදය මණ්ඩපය සදහා සහභාගී වුයේ උපාධිධාරී මධ්‍යස්ථානයේ සම ලේකම් ධම්මික මුණසිංහ යි. මේ ඔහු සමග අප සමග කළ කතා බහයි.
මේ වන උපාධිධාරීන් පත්වීම් වලට ඇතිවී තිබෙන ඉරණම කුමක්ද
 රටේ උපාධිය ගත්තට පස්සේ 2005 ඉදල අරගල කලා. 2005 අවුරුද්දේ අරගල කරලා පත්වීම් ගත්තා අවුරුදු හතකට පස්සේ තමයි උපාධිධාරීන්ට රැකියා දෙන්න ඕන කියලා හිතෙන්නේ. නමුත් ආණ්ඩුවට උපාධිධාරීන්ට කිසිදු සැලැස්මක් නොමැතිව ප්‍රාදේශිය දේශපාලනඥයින් පාවිච්චි කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත වන ලෙස බදවා ගැනීමක් කළා. ඒ සදහා ඔවුන්ට මාසෙට රුපියල් 10,000 දෙනවා. මාස 06කින් ස්ථිර කිරීමේ පදනම යටතේ නමුත් මාස 06ක් ගත වුනාම කිව්වා තව මාස 06කින් ස්ථිර කරනවා කිව්වා. මේ වන කොට මාස 18ක් ගත වෙලා තියෙනවා. තවම ස්ථිර පත්වීම දීලා නෑ.
 එතකොට ආණ්ඩුව පත්වීම් දීලම නැද්ද
උපාධිධාරීන් අරගල කළේ උපාධිධාරීයා හදාරපු විෂයට හරියන පත්වීම දෙන්න කියලා. මේ උපාධිධාරීන් අතර ඉන්නවා විද්‍යා කලා කෘෂි සෞන්දර්ය උපාධිය හදාරපු උපාධිධාරීන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට අනුයක්ත කරලා වාඩි වෙන්න පුටුවක්වත් නැතිව ඉන්නවා. මීට අමතරව ගුරුපත්වීම කිහිප දෙනෙකුටත් දීලා තියෙනවා. නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම බහුතර පිරිසක් කුලී කරුවන් විදියටයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. මේකටද උපාධිධාරීන්ට පත්වීම් දීලා කියන්නේ
 ඔබ කොහොම කිව්වත් ආණ්ඩුව 50 000කට පත්වීම් දීලා කියලා කියනවා මොකද්ද ඒකේ තත්වය
 ආණ්ඩුව කළේ රුපියල් 10, 000ක් ‍ගෙවීමේ පදනම ය‍ටතේ බදවා ගැනීමක් විතරයි ඒකේ ස්ථිර කමක් නෑ. වැටුපක් නෑ. අපි කියන්නේ මේක කඩාකප්පල් කරන්න කියලා නෙවෙයි. ඔවුන් ඉගෙන ගත්තේ මේ රටේ ජනතාවගේ සල්ලි වලින් ඔවුන්ට වැටුප් ගෙවන්නෙත් ඒකෙන් අපි කියන්නේ ඒ ජනතාවට වැඩක් කරන්න පුළුවන් විදියට රැකියාවක් දෙන්න කියලා . බලන්නකෝ මෙහෙම ගත්තම මේ බදවා ගත්ත පිරිස් අතර ඉන්නවා සෞන්දර්යයට නැටුම් හදාරපු උපාධිධාරීන් ඒ වගේම පාසල් බොහෝමයක නැටුම් ගුරුවරු නැතිව ඉගෙන ගන්න විදියක් නැතිව ඉන්නවා. එසේම මේ බදවා ගත්ත උපාධිධාරීන් අතර ඉන්නවා හාමුදරුවරු හැබැයි පාසල් බොහෝමයක බුද්ධ ධර්මය විෂයට ගුරුවරු නැතිව ඉන්නවා. මේකම උදාහරණයකට ඇති ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් නොමැතිවයි මේ බදවා ගැනීම් කරලා තියෙන්නේ කියලා කියන්න.
 මේ වන විටමේ බදවා ගැනීම් අතහැරලා පෞද්ගලිකද අංශයේ රැකියාවලට ගිය පිරිස් ඉන්නව ද
 අනිවාර්යයෙන්ම, රජයේ රැකියාවල ස්ථිරත්වය සලකා මේ වන කොටත් පෞද්ගලික අංශයේ යම් රැකියාවල හිටපු පිරිස් ඒ සියල්ල දමල ගහල මේ බදවා ගැනීමට ආවා. නමුත් ඔවුන්ට උනේ කබලෙන් ලිපට වැටුනු වගේ දෙයක් මෙතෙන්ට ආවම කිසිදු වැඩපිලිවෙලක් නොමැති ජීවත් වෙන්න පුළුවන් විදියේ වැටුපක් නොමැතිව ඉන්න සිද්ධ වුනා. ඉතිං ඔබ හිතන්න ළමයෙක් ඉන්න, විවාහ වුනු උපාධිධාරියෙකුට මේ රුපියල් 10,000න් ජීවත් වෙන්න පුළුවන්ද කියලා . ඉතිං සමහරු මේක අතඇරලා ජීවත් වෙන්න පුළුවන් විදියේ වැටුපක් තියෙන තැනකට ගියා.
 ඔබ කියන්නේ මේක ආණ්ඩුව දැන දැනම කළ මං මුලා කිරීමක් කියලද
 එහෙම කියන්නත් පුළුවන් වෙච්ච දේ ඔවුන් දැන හරි ‍නොදැන හරි සිද්ධ වුනේ උපාධිධාරියාට රජයේ රැකියාවක් කියන එක එපා වෙන තැනට වැඩ සිද්ධ වෙච්ච එක.
 ඊලගට මතුවන ප්‍රශ්නේ තමයි ඔබ සංගමය රැකියා නොමැති තත්වයක් යටතේ අරගල කලා නමුත් මාස 18ක් වැනි කාලයක් මේ වැනි තත්වයක් යටතේ ඉන්න උපාධිධාරීන් වෙනුවෙන් කිසිදු අරගලයක් කරන්නේ නෑ. ඇයි ආණ්ඩුවට බයේද ? නැත්නම් අරගලය අත ඇරලද ?
 ඔබ කියන විදියට ප්‍රශ්නයක් තියෙනවා. උපාධිධාරීන් විශාල කාලයක් අරගල කරලා රැකියාවක් ගත්තා සමාජයම නිද්‍රාශීලීත්වයක ඉන්නේ මෙයට නායකත්වය දුන් වමේ ව්‍යාපාර පවා නිහඩයි. අනිත් අතින් ආණ්ඩුව සංවිධානය වෙන්න දෙන්නේ නෑ ඒ සදහා වෙච්ච මං අහුරලා තියෙන්නේ. පත්‍රිකාවක් බෙදන්නවත් දෙන්නේ නෑ. ඔවුන් ‍සේවය කරන ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට යන්න දෙන්නේ නෑ. ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න දෙන්නේ නෑ. එහෙම වෙන්න පුළුවන් විදියේ මං පෙත් සියල්ල අනපනත් ගෙනල්ලා අහුරලා තියෙන්නේ. ඒ එක්කම උපාධිධාරීන් අතරේ තරග කාරීත්වයක් හදලා තියෙනවා.
අපි දන්න කාරණයක් තමයි මේ අධ්‍යාපනය හදන්නේ කේවල පුද්ගලයෙක්. තනියෙන් ගොඩ යන්න තනියෙන් නැගිටින්න කියන සංකල්පවල ඉන්න පුද්ගලයෙක්‍ දෙමාපියොත් දරුවන් මුල් කාලවල හදන්නේ ඒ සංකල්ප මුල්කරගෙනයි. දැන් අපි කියනවා ඔවුන් සාමූහික නෑ කියලා. අපි කියන්නේ සාමූහීත්වයකට එන්න හදන්න ඕනේ කුඩා කාලයේ සිටයි ඉතිං ඔවුන් උපාධියක් ගත්තත් ඒක එහෙමම තියෙනවා. සාමූහික කරන්න ඕනේ. නමුත් ඔබ ප්‍රශ්න කරනවා වගේ ඒක කරන්න ව්‍යාපාරයක් තියෙන්න ඕනේ. නමුත් එහෙම අරගල කරන ව්‍යාපාරත් දැන් හීන වෙලා තියෙනවා. ඇත්තටම මේවට නායකත්වය දුන්නු වමේ ව්‍යාපාරය ‍පවා අරගලය අත ඇරලා අපි කියන්නේ නෑ මේක වමේ අවුලක් හින්දම උපාධිධාරී ගැටලුව මතු වුනා කියලා. සංවිධානයක් විදියට අපි උත්සාහ ගනිමින් ඉන්නවා. අරගලය තීව්‍ර කරලා ඉල්ලීම් දිනා ගන්නා තැනට උපාධිධාරියා ගෙන ඒමට .
 ඉදිරියේදී අරගල තීව්‍ර කිරීමේ වැඩපිලිවෙලක් තියෙනවද
 අපි යනවා මුලින් කිව්වා වගේ උපාධිධාරීන්ට ආණ්ඩුව තවම රැකියා ලබාදීලා නෑ මේ වන කොටත් 2000 ක් විතර පිරිසක් එළියේ ඉන්නවා කිසිදු රැකියාවක් නොමැතිව. රැකියා දීමක් කියලා ආණ්ඩුව කරන්නේ බොරුවක් ඒ නිසා අපි ඉදිරියේදී අරගල කරනවා. ඒක අතඅරින්න සූදානම් නෑ මොකද ඉතිහාසයේ සිට යමක් දිනා ගත්තේ අරගල කරලා. මේ ධනේෂ්වර ආණ්ඩු ජනතාවට නිකම්ම දේවල් දෙන්න සූදානම් නෑ එහෙම සුබසාධනයක් කියන එක ලිබරල් ආර්ථිකයේදී කපා දමලා තියෙන්නේ. ඒ නිසා අරගල කළ යුතුමයි.
 උදාහරණයක් ගත්තම රතු පස්වල මිනිස්සු අරගල නොකලා නම් තවමත් ඔවුන් අර විෂ ජලය පානය කරනවා. එහෙම තමයි ඉල්ලීම් දිනා ගන්න ඕනේ. නිද්‍රා ශීලී මිනිස්සු ලගට කිසිදු දෙයක් ලැබෙන්නේ නෑ. ජීවත්වෙන්න වතුර, වැටුප්, ඉදිරියේදී අපිට වාතය ඉල්ලලත් සටන් කරන්න වේවි ඒ සදහා සූදානම් විය යුතුයි ඒ නිසා අපි කියනවා අනිවාර්යෙන්ම ජීවත්වෙන්න පුළුවන් විදියේ වැටුපක් උපාධියට සරිලන රැකියාවක් ලබාදිය යුතුමයි. එය ‍මේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ. නමුත් කෙසේ හෝ ඔවුන් ලබා එය ලබාගැනීම අපේ අරමුණයි.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>