අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ ගැටළුරැසක්, පරිපාලනය නිහඩයි


හාඩි උසස් තාක්ෂණ ආයතනය ආරම්භ වන්නේ වර්ෂ 1956 ජනවාරි මස 15 වන දින දීය. කැනේඩියානු ජාතික මහාචාර්ය එවන් ඇලන් හාඩි පියතුමා විසින් ආරම්භ කරන ලද හාඩි උසස් තාක්ෂණ ආයතනය, මේ වන විට උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා 06 කින් සන්නද්ධ අතර එම පාඨමාලා පිළිවෙලින් මෙසේය.
1. උසස් ජාතික තාක්ෂණ කෘෂිකර්ම ඩිප්ලෝමාව
2. උසස් ජාතික ඉංග‍්‍රීසි ඩිප්ලෝමාව
3. උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව
4. උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමාව
5. උසස් ජාතික ගනකාධිකරණ ඩිප්ලෝමාව
6. උසස් ජාතික සංචාරක හා සත්කාර කළමනාකරණ ඩිප්ලෝමාව

උසස් ජාතික තාක්ෂණ ආයතන අතර ප‍්‍රමුඛතාවයක් උසුලමින් අමිල සම්පත් රටට දායාද කරමින් සිටින හාඩි උසස් තාක්ෂණ ආයතනයේ අනාගතය පිළිබදව දැනට ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයකි. මේ වන විට පාලනාධිකාරිය විසින් හාඩි උසස් තාක්ෂණ ආයතනය තුල දැඩි ලෙස ශිෂ්‍ය මර්ධනයක් ක‍්‍රියාත්මක කරමින් සිටී. මෙහි ආසන්නතම අවස්ථාව වූයේ 2017.05.19 දින ශිෂ්‍යයින් අතර ඇතිවූ මතබේදාත්මක තත්ත්වය හා එම ගැටළුව ශිෂ්‍යයින් හට සමතයකට පත් කර ගැනීමට ඉඩ නොදී පාලනාධිකාරිය විසින් අත්තනෝමතික ලෙස එක් ශිෂ්‍යයෙකු හට මසක පන්ති තහනමක් ලබා දීමයි. එහිදී ඒ වෙනුවෙන් කථා කිරීමට ගිය ශිෂ්‍යයින් හට ආයතනයේ පාලනාධිකාරිය විසින් තම අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩ නොදී ඔවුන් හට පරුෂ වචනයෙන් බැන වැදී එලවා ගනු ලැබීය. 

2017.05.27 වන දින පළමු හා දෙවන වසර සිසුන් දෙදෙනක් හට මසකුත් දින 05ක පන්ති තහනමක් පනවන ලද්දේ නවක වදය ලබා දුන්නා යැයි අසත්‍ය චෝදනා එල්ල කරමිනි. එහිදී කිසිදු විමර්ශනයක් හෝ සාක්ෂි විමසීමකින් තොරව මෙලෙස සිසුන් දෙදෙනා හට පන්ති තහනමක් පැනවූයේ ආයතනය විසින් ගෙන යන ශිෂ්‍ය මර්ධනයේ ප‍්‍රථිඵලයක් ලෙසිනි. මෙහිදී සිසුන් හට ලබා දුන් පන්ති තහනම් ලිපි වල දින හා වේලාවන් පවා අසත්‍ය ඒවා විය. පාලනාධිකාරියේ පවතින ගැටළුකාරී තත්ත්වයන් වසා ගැනීමට සිසුන් බේධ කර අත්තනෝමතික පන්ති තහනම් ලබා දී ආයතනයේ අධ්‍යක්ෂකවරයා හා විනය කමිටුව විසින් ගෙන යන මෙම වැඩපිළිවෙල කොතෙක් දුරට සාධාරණ ද?

මීට එරෙහිව සියළු සිසුන් විසින් නිහඩ විරෝධතාවක් ආරම්භ කල අතර එය මැඩ පැවැත්වීමට සියළු ශිෂ්‍ය නේවාසිකිගාර වලින් සිසුන් එළියට ඇද දමා 2017.06.01 වන දින සිට දින නියමයක් නොමැතිව හාඩි උසස් තාක්ෂණ ආයතනය වසා දැමීම පාලනාධිකාරිය තීරණය කර ඇත.

හාඩි උසස් තාක්ෂණ ආයතනය තුල ඇති ගැටළු සදහා නිසි විසදුම් ලබාදෙනවා වෙනුවට උසස් අධ්‍යාපන ඇමතිවරයාද පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් කත්අදිමින් සිටි.   

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>