පාගමනට යහපාලන ආණ්ඩුවෙන් කදුළු ගෑස්


මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු, විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු, රාජ්‍ය ආයතන විකිණීම නවතනු යන ඉල්ලීම් ඇතුළු ඉල්ලීම් 15 මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය එක්ව පසුගිය 17 වෙනිදින සංවිධානය කරන ලද විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 14000කට අධික පිරිසකගෙන් සමන්විත  පාගමන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට ගමන් කිරීමට සැලසුම් කර තිබුනි. 

පාගමන ආරම්භ වීමට ප්‍රථම පාගමන වළක්වමින් අධිකරණ නියෝග ලබාගෙන තිබුණත් එම අධිකරණ නියෝග නොසලකමින් දැවැන්ත පාගමන කොළඹ කොටුවෙන් ආරම්භවිය. පාගමන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට ගමන් කිරීමට සැලසුම් කර තිබුනත් පොලිසිය ලෝටස් වටරවුමේ ගාලුපාරට පිවිසෙන අන්තය වාහන ගමන් කිරීමට පවා නොහැකිවන ලෙස බැරියර් දමා අවහිර කරතිබිනි. අනික්පසින් 138 මාර්ගයේ ඉබ්බන්වල හන්දියද මාර්ග බාධක යොදා අවහිර කර තිබුණි. පසුව පාගමන ඩෝසන් විදිය, පාර්ක් විදිය හරහා පුරහල වෙත ලගාවිය පුරහල අසලද මාර්ගය අවහිර කරමින් පොලිසිය පාගමන ඉදිරියට යාම වැලැක්වීමට උත්සහ කිරීම නිසා සිසුන් විහාරමහාදේවි උද්‍යානය හරහා ගමන් කිරීමේදී කදුළු ගැස් ප්‍රහාරයක් එල්ල කරන ලදී. 

ඉන් නොනැවතුණු විශ්වවිද්‍යාල සිසුන් විහාරමහාදේවි උද්‍යානයේ සිට නැවතත් පාගමන සංවිධානය කරගනිමින් නෙලුම් පොකුණ මාවත හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමේදී පොලිසිය හා කැරලි මර්ධන ඒකකය යොදාගනිමින් විහාරමහාදේවි උද්‍යානය තුන් පැත්තකින් වට කරමින් දිගින් දිගට කදුලු ගැස් ප්‍රහාර එල්ල කරන ලදී. එහිදී පොලිසිය එල්ල කරන ලද කදුළු ගැස් උණ්ඩ වැදීම නිසා සිසුන් 19කට අධික සිසුන් සංඛ්‍යාවක් රෝහල් ගතකරන අතර සිසුන් 7 සහ ස්වාමින් වහන්සේ නමක් අත්අඩංගුවට ගන්නා ලදී. 

පොලිසිය විසින් එල්ල කරනලද කදුළු ගැස් උණ්ඩ වැඩිම නිසා අසල තිබු මෝටර් රථයක් ඇතුළු මහජන දේපල රැසක් විනාශ වී තිබෙනු දැකගත හැකිවිය. කෙසේනමුත් සිසුන් විහාරමහාදේවි උද්‍යානයේ සිට ජාතික පුස්තකාල අසලට රැස්වී එම ස්ථානයේ විරෝධතාවක නිරතවිය. එහිදී අදහස් දැක්වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් සහෝදරයා සදහන් කර සිටියේ කදුළු ගැස් ගසා මෙම විරෝධතා රැල්ල නතර කල නොහැකි බවත් මෙම ගැටළු සදහා නිසි විසදුමක් ලබාදීමට නොහැකි වුවහොත් ඉදිරියේදීත් මෙවන් විරෝධතා සදහා රජය සුදානම් වීමට සිදුවන බවත්ය. 

තව දුරටත් අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු රත්කරවුවේ ජිනරතන හිමි සදහන් කර සිටියේ ජනතාවගේ අයිතිවාසිකම් වලට අතතියන්න අවොත් මේ රටේ ජනතාව ඒ සදහා පිළිතුරු ලබාදෙන බවත් ආණ්ඩුවට අවශ්‍යනම් ඉතිහාසයෙන් පාඩම් ඉගනගත හැකිබවත් වැඩිදුරටත් සදහන් කරසිටියේය. අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයාද වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ අධ්‍යාපනය සෞඛ්‍යය විකිණීමට එරෙහි ශිෂ්‍ය පාගමන් එනවිට පාරවල් වැහුවට මේ ශිෂ්‍ය වියාපාරය නතරනොවන බවත් නතරවෙනවානම්  නතර වෙන්නේ අධ්‍යාපනය සෞඛ්‍යය විකිණීමේ ප්‍රතිපත්තිය හකුලගැනීමෙන් පසුව බවත්ය.







අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය 




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>