තෙලවලට නේවාසිකාගාරයට පැමිණි සිසුවියන් 270ක් දෙවන වරටත් ආපසු හැරී යති

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ පළමු වසර සිසුවියන් 270කට රත්මලාන තෙලවල පාරේ පිහිටි නේවාසිකාගාරය වෙත ලියාපදිංචිය සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඊයේ (23) එහි පැමිණි දෙමාපියන් හා සිසුවියන්ට නේවාසිකාගාරයේ ඉදිකිරීම් අවසන් වී නොතිබිම හා ආරක්ෂාව නොමැති වීම යන කරුණු මත දෙවනවරටත් ආපසු හැරීයාමට සිදුවිය.


මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ ශිෂ්‍ය සංගමයේ සභාපති වසන්ත මහතා පැවැසුවේ, අපි 2012.12.20දින උද්ඝෝෂණයක් කළා කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගාස්තු අඩුකරන ලෙස බලකරමින්. එහිදී උසස් අධ්‍යාපන ඇමැතිවරයා විශ්වවිද්‍යාල සිසුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව නේවාසිකාගාර ගාස්තුව රු. 800/-ක් කරන බවට ‍පොරොන්දු වුණා. ඊට පසුව දෙමාපිය රැස්වීමේදී එය රු. 1000/- දක්වා වැඩි කරන බව ප්‍රකාශ කළා. ඒත් අද ලියාපදිංචියට ආවම කියනවා රු. 3000/-ක් කියල. අනෙක් විශ්වවිද්‍යාල ගත්තම ජ’පුර 750/-, රජරට 500සබරගමුව 500/- කොළඹ 07තියෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයෙත් රු. 500/- එහෙම බලන කොට අසාධාරණ විදිහට වැඩිම ගානක් අය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ.

අද මේ නේවාසිකාගාරයට ඇවිත් ඉන්නවා නියෝජ්‍ය උපකුලපති ප්‍රේමකුමාර ද සිල්වා. ‍ලේඛකාධිකාරී එඩ්වඩ් හා සම්බන්ධීකාරක නිලධාරී ඉන්ද්‍රජිත් අ‍පෝන්සු යන අය, මේ අයම පිළිඅරගෙන තියෙනවා මෙතන නිසි ආරක්ෂාවක් නෑ. පහසුකම් නෑ කියලා. එහෙම දැනගෙනත් ළමයි 270කට ලියාපදිංචිය සඳහා එන්න කිව්වේ ඇයි? කොයිතරම් දුර පළාත්වලින් අහිංසක දෙමාපියන් ඇවිත් ඉන්නවාද? ආවට පස්සේ කියනව ආපහු යන්න කියල. ඒත් ළමයි 40දෙනෙක් ලියාපදිංචි කළාට පස්සෙයි ඉන්ද්‍රජිත් අ‍පෝන්සු එහෙම කියන්නේ.
මෙහිදී දෙමාපියන් සිසුන් කැඳවූ ඉන්ද්‍රජිත් අ‍පෝන්සු නමැති අය නේවාසිකාගාරයේ අඩුපාඩු බොහෝමයක් ඇති බැවින් අද දින ලියාපදිංචිය නවත්වනු ලැබූ බවත් ඒ සඳහා පසුව දිනයක් දැනුම් දෙන බවත් පැවැසීය. මෙහිදී බලා‍පොරොත්තු දහසක් ‍පොදි බැඳ නේවාසිකාගාරයේ නැවතීම සඳහා ඇඳුම්, ඇතුළු අනෙක් ආම්පන්න ආපසු රැගෙන යනු දක්නට ලැබිණ.
ඒ අවස්ථාවේදී සම්බන්ධීකාරකවරයා හා සිසුන් අතර දැඩි වචන හුවමාරුවක් සිදුවුණු අතර පසුව නැවතත් මුදල් අය නොකර සිසුන් ලියාපදිංචි කිරීමට තීරණය විය.මේක අපේ ප්‍රශ්නයක්. තමුසෙලා යනවා යන්න යැයි සම්බන්ධීකාරක ඉන්ද්‍රජිත් අ‍පෝන්සු නමැත්තා මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
මුදල් අය කිරීමකින් තොරව ලියාපදිංචිය සිදුකිරීමට සියලුදෙනා ඉදිරියේ ‍පොරොන්දු වූ මෙම සම්බන්ධීකාරකවරයා විනාඩි 15ක් ගතවීමට පෙර අද දින ලියාපදිංචි කිරීම සිදු නොකරන බවත් සියලුම දෙනා වහාම නේවාසිකාගාර භූමියෙන් පිටව යන ලෙස දැන්වීමත් සමග දුරබැහැර ප්‍රදේශවලින් පැමිණ සිටි සිසුවියන් දෙමාපියන් අසරණ තත්ත්වයට පත්ව සිටි අයුරු දැක ගත හැකි විය.

“මහත්තයෝ අපි ආවේ ආනමඩුවේ ඉඳලා. වෑන් එකක් හයර් එකට අරන් රු. 12000/-කට. මේ දෙවෙනි දවස මීට කලින් මාර්තු 03 වැනිදත් ආවා. ආපසු යන්න වුණා. අපි හැම දෙයක්ම කරන්නේ දරුවන්ට. ඒත් මේ වගේ අපරාධ කරන්න හොඳ නෑ. දැන් දරුවාට නේවාසිකාගාරය අදත් නෑ. මේවයේ ඉන්න ලොකු වුන්ගේ ඔළුවේ අමාරු තියෙනවා. නැත්නම් මේ විදිහට දරුවන්ව, දෙමාපියන්ව රස්තියාදු කරනවාද?” යැයි විමසීය.
කෙසේ වුවද අවසානයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන්ට උසස් අධ්‍යාපන ඇමැතිවරයා ‍පොරොන්දු වූ රු. 1000/- නේවාසිකාගාර ගාස්තුව රු. 3000/- ක් වූවා සේම දෙවනවරටත් බලා‍පොරොත්තු සුන්කරගනිමින් ආපසු හැරී යාමට සිදුවිණ.

උපුටා ගැනීම -ලක්බිම

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>