පිරිසිදු පානීය ජලය ඉල්ලු බඳගිරිය ජනතාවට පොලිසිය යොදා ගනිමින් ආණ්ඩුව එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමු!

පසුගිය 12 වනදා උද්ඝෝෂණයක නිරත වූ හම්බන්තොට,බඳගිරිය ගම්වාසීන්ට පොලිසිය දරුණු ලෙස පහර දී තිබිණ.

බඳගිරිය ගම්වාසීන් උද්ඝෝෂණයක නිරත වෙමින් ඉල්ලා සිටියේ තමන්ට බීමට ලැබෙන ජලය අපිරිසිදු බැවින් පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසයි. මෙය මේ මිහිතලය මත ජිවත් වන ඕනෑම කෙනෙකුට ඉල්ලා සිටිය හැකි ඉතා සාධාරණ ඉල්ලීමකි. මන්ද ජලය නොමැතිව මිනිසුන්ට,සතුන්ට පමණක් නොව ගහකොළ වලට පවා පැවැත්මක් නැත. නමුත් බඳගිරිය ගම්වාසීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස පාලකයින්ගෙන් ලැබුනේ ඉතා නින්දිත පොලිස් ප්‍රහාරයකි. අත්අඩංගුවට ගැනීමකි.

බඳගිරිය සිදුවීම මෑත ඉතිහාසය තුල ඒ හා සමානම තවත් සිදුවීමක් මේ සමාජයේ මතකයට නඟයි. ඒ රතුපසවල් දී පිරිසිදු ජලය ඉල්ලු ජනතාවට වෙඩි තබා මරා දැමීමේ සිදු වීමයි. රතුපස්වල ජනතාව ද ඉල්ලා සිටියේ බීමට පිරිසිදු වතුරයි. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වැදගත් වුයේ ධම්මික පෙරේරාගේ කර්මාන්ත ශාලාවේ ලාභයයි. එම නිසා තම බලය යටතේ පවතින හමුදාව, පොලිසිය යොදා ගනිමින් මීනී මරා හෝ කර්මාන්ත ශාලව ආරක්ෂා කිරීමට කටයුතු කෙරිණි.

රතුපස්වල ජනතාවට ප්‍රහාර එල්ල කරන වීඩියෝ දර්ශන යොදා ගනිමින්, ඒවා රූපවාහිනී නාලිකා වල ප්‍රදර්ශනය කරමින් යලි එසේ වීමට ඉඩ නොතබන බවට දිවුරුම් දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත් විය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති විය. හවුල් ආණ්ඩුවක් නිර්මාණය කෙරිණ. මැතිවරණ වේදිකාවල යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන වෙනසක් පිළිබඳව විශාල ලෙස කතා කලද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට නොදෙවෙනි මර්දනයක් ක්‍රියාත්මක කිරීම මේ හවුල් ආණ්ඩුව ආරම්භ කර ඇත.

දඹුල්ල පැල්වෙහෙර ගොවියන් තමන්ට බීජ වගා කිරීමට ඇති ඉඩම් සමාගම් විසින් කොල්ල කෑමට එරෙහිව උද්ඝෝෂණය කල විට ඔවුන් අල්ලා සිරගත කලේ යහපාලන ආණ්ඩුවයි. මීතොට මුල්ල ජනතාව කුණු ගොඩක ජිවත් වෙන්නට නොහැකි බව කියා උද්ඝෝෂණ කල විට ඔවුන්ට ජල ප්‍රහාර,කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේ යහපාලන ආණ්ඩුවයි. යාපනය ජනතාව උසාවියට ගල් ගැසුවේ තමන්ට යුක්තිය ඉටු නොවූ නිසාවෙනි. නමුත් ඔවුන් අල්ලා සිරගත කලේ යහපාලන ආණ්ඩුවයි. යාපනයේ චුන්නාකම් වැසියන් තමන්ට පිරිසිදු ජලය දෙන ලෙස ඉල්ලීම් කරද්දී ඔවුන්ට විරෝධතාව දැක්වීම තහනම් කලේ යහපාලන ආණ්ඩුවයි. සරසවි සිසුන් අයිතීන් ඉල්ලා උද්ඝෝෂණ කල සෑම විටම පොලිසිය යොදා ගනිමින් පහර දුන්නේ,සිරගත කලේ සහ නඩු පැවරුවේ යහපාලන ආණ්ඩුවයි.

එසේ නම් වෙනස් සිදු වී ඇත්තේ කාටද? ජනතාවට එදා තිබු ප්‍රශ්න ප්‍රමාණය එසේමය. බඳගිරිය ජනතාවට පිපාසයට බොන්නට පිරිසිදු ජලය නොමැති වීමෙන් දැඩි පීඩාවට පත්ව සිටී. ස්භාවික සම්පතක් ලෙස ඇති, ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ජලය වෙනුවෙන් මිනිසාට අරගල කරන්නට සිදුවීම ඛේදනීය තත්ත්වයකි. බඳගිරිය ගම්වාසීන් සිය ජල අවශ්‍යතා ප්‍රධාන වශයෙන් සපුරා ගත් බඳගිරිය වැවේ ජලය බීමට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබියදී ජල සම්පාදන මණ්ඩලය එම ජනතාවට ජලය විකිණීමට කටයුතු කිරීම ඉතා නින්දා සහගත ක්‍රියාවකි. මිනිසුන් විරෝධය පෑවේ එම නිසාවෙනි.

හවුල් ආණ්ඩුව නිර්මාණය කිරීමේ අරමුණ වුයේ පහුගිය කාල සීමාව තුල සම්මත කර ගැනීමට නොහැකි වූ එසේම ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ අණ පනත්, නීති, ක්‍රියාත්මක කර ගැනීමයි. අද බඳගිරිය ජනතාව වෙනුවෙන් පාලකයින් පෙනී සිටින්නේ නැත. හවුලේ කන නිසා කිසිවෙකු ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට සුදානම් නැත. බඳගිරිය ජනතාවට පමණක් නොව, ඉදිරියේදී හවුල් ආණ්ඩුවෙන් බීජ,ජලය,රුධිරය පවා විකිණීමට නියමිතය. අප සියලු දෙනාටම පාලකයන්ගේ ලාභය උදෙසා ජීවිතය අහිමි වීමට නියතය.

මෙම තත්ත්වය තුල පිරිසිදු පානීය ජලය ඉල්ලු බඳගිරිය ජනතාවට පොලිසිය යොදා ගනිමින් ආණ්ඩුව එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප තරයේ හෙලා දකිමු!

එසේම එම ජනතාවට යුක්තිය ඉටු වනතුරු, පිරිසිදු පානීය ජලය ලබාදෙන තුරු ඔවුන් සමඟ එක්ව අරගල කිරීමටද සුදානම් බව මේ රටේ පාලකයන්ට අවධාරණය කරන්නෙමු!


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>