ලංකා බැංකු සේවක සංගමයේ වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය හෙලා දකිමු!














ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ,සංස්කාරක.

මාධ්‍ය නිවේදනයයි
ලංකා බැංකු සේවක සංගමයේ වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය හෙලා දකිමු!
2016 අය වැය යෝජනා සම්බනධව විරෝධය පෑම සඳහා වෘත්තීය සමිති ඒකාබද්ධ එක් දින වැඩ වර්ජනයක් කැඳවා තිබුනේ අද(15) දවසෙයි. නමුත් ඊයේ දිනය වන විට වෘත්තීය සමිති ගණනාවක් එම වෘත්තීය ක‍්‍රියාමාර්ගයෙන් ඉවත් වීමට තීරණය කර තිබුනද ලංකා බැංකු සේවක සංගමය වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත් නොහරින බව ප‍්‍රකාශයට පත් කෙරිණ.
නමුත් ආණ්ඩුව අධිකරණය යොදා ගනිමින් ඊට එරෙහිව වාරණ නියෝගයක ලබා ගැනීමට කටයුතු කර තිබුනේ අද දින සේවයට පැමිණෙන සේවකයින්ට බාධා නොකරන ලෙස නියෝගයක් නිකුත් කරමිනි.  2016 අය වැය යෝජනා හමුවේ ශිෂ්‍යයින්, ගොවීන්, ධීවරයන්, කම්කරුවන් ඇතුළු සමස්ත ජනතාවගේ ජිවිත වලට බාධා එල්ල වී ඇති මොහොතක, ජනතාව පීඩාවට පත් කර ඇති මොහොතක ඊට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන පාර්ශව මර්දනය කිරීමට උත්සහ කිරීම අප තරයේ හෙලා දකින්නෙමු!
මන්ද තමන්ට අවනත කර ගැනීමට නොහැකි වූ විට කුමන හෝ ක‍්‍රමයකට එම බලවේග මර්දනය කිරීමට පසුගිය සෑම ආණ්ඩුවක්ම කටයුතු කර ඇති අයුරු දක්නට ලැබේ.
යහපාලන, හවුල් ආණ්ඩුව නිර්මාණය කිරීමේදී රටට ජනතාවට ඒත්තු ගැන්වුයේ තම පාලනය එවැනි පාලනයක් නොවන බවයි. නමුත් මිනිසෙකුගේ මුලික අයිතිවාසිකමක් වන විරෝධය පෑමට ඇති අයිතිය අහෝසි කරමින් සිදු කරන මෙවැනි මර්දනකාරී ක‍්‍රියා පිළිවෙත් වලට අප අපගේ දැඩි විරෝධය පල කර සිටින්නෙමු!
පසුගිය කාල සීමාව තුල අයිතීන් ඉල්ලා උද්ඝෝෂණ, පාගමන් සිදු කරන විට බොහෝ අවස්ථාවල අපටද අධිකරණ නියෝග ලබා ගනිමින් ආණ්ඩුව මර්දනය දියත් කරනු ලැබුවේ අපට ඇති ගැටලූව පිළිබඳව කිසිඳු සැලකිල්ලක් නොදක්වමිනි. ආණ්ඩුව  ජනතාව පීඩාවට පත් කර එම නිසා ජනතාව වීදි බසින විට යලි ජනතාව පීඩාවට පත් කරන බව පවසමින් අධිකරණ නියෝග නිකුත් කරනු ලබයි.
ප‍්‍රශ්න වලට විසඳුම් දෙනවා වෙනුවට මර්දනය කැඳවීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් සටන් කරන බලවේග සමඟ එක්ව ඊට එරෙහිව සටන් කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සුදානම් බවද අවධාරණය කරන්නෙමු!

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>