HNDA සිසුන්ට පහරදීම සම්බන්ධව පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කිරීම සම්බන්ධවයි.



පසුගිය ඔක්තෝබර් මස 29 වනදා අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කල විරෝධතා පා ගමනට මෙරට ආණ්ඩුව පොලිසිය යොදා ගනිමින් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළහ.
මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමට හා මානව හිමිකම් කොමිසම පරීක්ෂණ දෙකක් පැවැත්වුයේ අප හා වෙනත් පාර්ශව ඉදිරිපත් කල පැමිණිලි සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව පොලිස් කොමිසමේ වාර්තාවට අනුව පහරදීමට සම්බන්ධ කිරුලපන පොලිසියේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂක වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ප්‍රථමයෙන් මෙම තීරණය සමබන්ධයෙන් අප දැඩි අප්‍රසාදය පල කරන්නෙමු. මෙම පහරදීම සම්බන්ධයෙන් අප දිගින් දිගටම මතු කල කාරණය වුයේ මෙය පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ හිතුමතයට සිදු වුවක් නොව දේශපාලන තීන්දුවක් මත උද්ඝෝෂණය පහරදී  විසුරුවා හැරීමට අණ ලැබුණු බවයි. පොලිසිය හෝ හමුදාව වැනි ව්‍යූහයක් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වනුයේ තමන්ට ඉහලින් ලැබෙන අණ අනුවය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධව එක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කිරීම අපට සාධාරණය ඉටු කිරීමක් නොවන්නේය.
පොලිස් කොමිසම පවසා සිටින්නේ, ඉහල නිලධාරීනට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබූ බවයි. නමුත් පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය ඕනෑම පුද්ගලයෙකුට රහසක් නොවේ. පොලිසිය අණක් නොලබා ක්‍රියාත්මක වන්නේ නැත. එසේම මානව හිමිකම් කොමිසම මඟින් ලබා දුන් නිර්දේශය මඟින්ද පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ මෙම පහරදීමට අණ ලබා දුන් නිලධාරීන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මානව හිමිකම් කොමිසමට තිබු සාක්ෂි  පොලිස් කොමිසමට නොලැබීම පුදුමයකි. අනෙක් කාරණය නම් මෙම පහරදීමෙන් පසු කිසිඳු ශිෂ්‍යාවකට පහර නොදුන් බව කියමින් මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කල ඉහල පොලිස් නිලධාරීන්ම පහරදීම සම්බන්ධ පහල පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමට නියෝග ලබා දී ඇත. විශේෂයෙන්ම මෙම නියෝගය නිකුත් කොට ඇත්තේ බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසිනි. ඔහුද ඉහත මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වී කරුණු ඉදිරිපත් කල අයෙකි.
එසේම HNDA සිසු ගැටලුව මෙවැනි තීරණයක් හරහා හුදු පහරදීමකට ලඝු කිරීමට ලක් කර ඇත. ඒ ඔස්සේ මෙම ගැටලුව පිටුපස ඇති දේශපාලන ප්‍රතිපත්ති පිලිබඳ අදහස යටපත් කොට ඇත.
එම නිසා මෙම තීන්දුව සම්බන්ධයෙන් අප දැඩි අප්‍රසාදය පල කරන අතරම , පහර දීමට අණ දුන් සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව දැඩිව අවධාරණය කරන්නෙමු.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>