2012 වසරේදී ඉන්දියාවේ නව දිල්ලි නගරයට ආසන්න හරියානා ප‍්‍රාන්තයේ මනේසාර් මරුටි සුසුකි මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ කම්කරු අරගලයක් අතරතුර එම සමාගමේ මානව සම්පත් කලමනාකරුවකු මියයාම සම්බන්ධයෙන් පැවරූ නඩුවක තීන්දුව පසුගිය මාර්තු 18 වැනිදා ලබාදෙන ලදී. එම තීන්දුව මගින් කම්කරුවන් 13 දෙනෙකුට ජීවිතාන්තය දක්වා ද තවත් කම්කරුවන් 4 දෙනෙකුට වසර පහ බැගින් ද 14 දෙනෙකුට වසර තුන බැගින් ද සිර දඬුවම් නියම කර තිබේ. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති අයගෙන් 12 දෙනෙකුම මරුටි සුසුකි වෘත්තීය සමිතියේ නායකයන් ය.
මෙය කම්කරු නායකයන් සහ වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන් ඉලක්ක කරගත් මර්දනයක් බව අවිවාදිතව පිළිගැනී ඇත. කම්කරු අරගලය අතරතුරදී ගින්නකට මැදිවී මියගිය කලමනාකාරවරයා කම්කරුවන්ට පක්ෂපාත අයෙකු වූ අතර වෘත්තිය සමිතිය ලියාපදිංචි කිරීමටද සහය දැක්වු අයෙක් වීම එය තහවුරු කරන එක් සාධකයකි. අනෙක සාක්ෂි විමසීමේ තිබූ පරස්පරතා සහ බොරු සාක්ෂි ඉදිරිපත් කිරීමයි. මෙය ඉන්දීය පාලක පන්තිය දියත් කරන නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ වලට එරෙහි කම්කරු ක‍්‍රියාකාරීත්වයන් උපන් ගෙයිම වනසා දැමීමේ මර්දනීය සැලැස්මක පළමු පියවර බව පැහැදිලිය. ලොව වැඩිම කම්කරු සහභාගීත්වයකින් යුතු වැඩ වර්ජනය ලෙස ඉතිහාසගත වු 2016 සැප්තැම්බර් නව ලිබරල් විරෝධී ඉන්දීය කම්කරු අරගලය ඉන්දීය පාලකයන් බියට පත්කර ඇති අතර මේ ඊට එරෙහි ඔවුන්ගේ මර්දනීය ප‍්‍රතිචාරයයි.