රාජපක්ෂ ආණ්ඩුව භික්ෂූන් 300ක් කුසගින්නේ හිර කරයි


බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් 300 නමක් පමණ මේ වන විට ආහාර පවා නොමැතිව අනුරාධපුර, මානමූනාවත්තේ පිහිටි නේවාසිකාගාරවල සිර වී සිටින බව වාර්තා වේ. තම ඉල්ලීම් ලැබෙන තුරු නේවාසිකාගාරවලින් ඉවත් නොවනබව ශිෂ්‍ය භික්ෂූන් පවසා ඇති අතර ආණ්ඩුව පොලිසිය යොදා ගේට්ටුව මුර කරමින් කිසිවකුටත් ඉන් නේවාසිකාගාර තුළට ගොස් භික්ෂූන්ට දානය පිළිගැන්වීමට අවසර නොදෙන බව ඔවුහු පවසති.


ශිෂ්‍ය භික්ෂූන් කිහිප නමකගේ පන්ති තහනම් කිරීමට හා නේවාසිකාගාර පහසුකම් අහිමි කිරීමට විරෝධය පල කිරීම නිසා බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා සියලු දෙනාට නේවාසිකාගාරවලින් ඉවත් වන්නැයි නියෝග කළේය. එහෙත් එම නියෝගය අසාධාරණ බව පෙන්වා දෙමින් ශිෂ්‍ය භික්ෂූන් 300 නමක් පමණ නේවාසිකාගාරවල තවමත් රැඳී සිටිති.

පසුගිය 13 වැනිදා නේවාසිගාරවලට කඩා වැදුණු පොලිසිය එහි තිබූ ගෑස් සිලින්ඩරය රැගෙන ගිය අතර මේ වන විට නේවාසිකාගාරයේ ජල සැපයුම හා විදුලිය සැපයුමද විසන්ධි කර තිබේ. ඒ නිසා භීක්ෂූන් නේවාසිකාගාර භූමියේ පිහිටි ළිඳකින් බීමට ජලය ලබා ගන්නා බව වාර්තා වේ.

ඔවුන් විසින්නිකුත් කරන ලද ඡායාරූප පෙළක දැක්වෙන්නේ, නේවාසිකාගාරය තුළ ආහාර නොමැති කමින් පීඩා විඳින භික්ෂූන් කෙසෙල් බඩ තම්බාගෙන් කන ආකාරයයි.

මේ ආකාරයට තමන් කුසගින්නේ සිර කර තබා තම සටන අඩපන කිරීමට රාජපක්ෂ ආණ්ඩුව ගන්නා උත්සාහය ඉතා ම්ලේච්ඡ හා තිරිසන් උත්සාහයක් බව එම භික්ෂූහු පවසති.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>