ජනාධිපති ලේකම්ගේ ආරක්ෂකයින් අන්තරේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න සහෝදරයාට පහරදෙයි

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ නමට ලියාපදිංචි කර ඇති කේ. එච්. 1019දරන සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි ප්‍රභූ ආරක්ෂක අංශයේ පිරිසක් අද දහවල් උදුල් ප්‍රේමරත්න මහතාට පහර දී ඇත. ඇමති ආරක්ෂක අංශයේ මැරයින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අද දහවල් 12.00ට පමණ කිරුළපන ප්‍රදේශයේදීය.

මෙම ප්‍රහාරය හෙළා දකිමින් මානව හිමිකම් උදෙසා ක්‍රියාකාරිකයෝ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ දැක්වේ. 

මේ වන විටත් රටේ සියලූම ක්ෂේත‍්‍ර මිලිටරිකරණය කරමින් සිටින ආණ්ඩුව මැති ඇමතිවරුන්ගේ සහ රජයේ ඇතැම් බලවතුන්ගේ ගමන් බිමන් යාමේදීද සාමාන්‍ය ජනතාවට එම මිලිටරිකරණයේ බලය පෙන්වමින් හිරිහැර කරයි. අද (25) දහවල් 12.00ට පමණ උදුල් පේ‍්‍රමරත්න සහෝදරයාට ප‍්‍රභූ ආරක්ෂක අංශ විසින් පහර දී ඇත. කිරුළපන ප‍්‍රදේශයේදී ඔවුන් මෙම පහර දීම සිදු කර තිබෙන්නේ ප‍්‍රභූ ආරක්ෂක රථයකට මාර්ගයේ ඉඩ ලබාදීම සම්බන්ධ කරුණකදීය. මෙහිදී ආරක්ෂක නිලධාරීන් උදුල් පේ‍්‍රමරත්න සහෝදරයාගේ මුහුණට සහ පාදවලට තුවක්කුවලින් පහර දී ඇති අතර රථ වාහනවලින් ගමන් කරමින් සිටි අනෙක් අයටද අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කර ඇත. දැනට උදුල් පේ‍්‍රමරත්න සහෝදරයා කොළඹ ජාතික රෝහලේ 72වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටී. මෙම ප‍්‍රහාරය සිදු කළ පිරිස පැමිණ ඇත්තේ කළු පැහැති බී.එම්.ඩබ්ලිව් රථයකින් සහ අංක කේ. එච්. 1019දරන සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකිනි. අපට තිබෙන තොරතුරු අනුව එම ඩිෆෙන්ඩර් රථය ලියාපදිංචි කොට ඇත්තේ ජනාධිපති ලේකම්වරයාගේ නමටය. එබැවින් මෙම පහර දීම රජයේ ප‍්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද බවට සැකයක් නැත.

සාමාන්‍ය ජනතාවට අධික ලෙස පීඩාකාරී වෙමින් ධනවතුන්ට සහ ජාවාරම්කරුවන්ට අල්ලස් දෙන පාලකයින් මහ මඟ යද්දී ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් පදික ජනයා සහ වාහනවල ගමන් කරන්නන් හිරිහැරයට සහ පීඩාවට ලක් කරයි. ඒ අතරම සිය අත්තනෝමතික බලය ප‍්‍රදර්ශනය කරමින් ජනතාවට පහර දෙයි. මෙය මේ ආකාරයේ පළමු සිදුවීම නොවන අතර අවසන් සිදුවීමද නොවනු ඇත. මෙම තත්වය පරාජය කිරීම සඳහාත් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහාත් පුළුල් ජනතා මැදිහත්වීමක් අවශ්‍ය බව අපි විශ්වාස කරමු. පසුගිය අය වැයෙන් මෙන්ම පසුගිය වසර ගණනාවක අය වැයෙන් ආණ්ඩුව වැඩිම මුදලක් වෙන් කළේ ආරක්ෂාව සඳහාය. ඒ ආරක්ෂාව යනු කාගේ ආරක්ෂාව දැයි මෙවැනි සිදුවීම්වලින් ඉතාම පැහැදිලිය. උදුල් පේ‍්‍රමරත්න සහෝදරයාට පහර දුන් පිරිස්වලට එරෙහිව නීතිය ක‍්‍රියාවේ යොදවන ලෙස බල කරන අපි මෙම අත්තනෝමතිකත්වයට එරෙහිව පෙළ ගැසෙන්නැයි සමස්ත ලාංකීය ජනතාවගෙන්ම ඉල්ලා සිටිමු.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>