
සෑහෙන කලක පටන් කැළණිය සරසවිය තුළ ඇති ප‍්‍රශ්නයක් වන්නේ ගැහැණු ළමුන් සඳහා නේවාසිකාගාර හිග විමයි. මෙම ප‍්‍රශ්නය උග‍්‍ර වුයේ 2010 වර්ෂයේ දී කරනු ලැබු හාස්‍යජනක නේවසිකාගාර මාරුවයි. එනම් සිසුන් 1200ක් පමණ සිටිය හැකි කාන්තා නේවාසිකාගාරයට 400 ක් පමණ වු පිරිමි ළමුන් දමා සිසුන් 400 පමණ සිටිය හැකි අභ්‍යන්තර පිරිමි නේවාසිකාගාරයට ගැහැණු ළමුන් දැමිමය. මෙම නේවාසිකාගාර මාරුවට හේතුව ලෙස දක්වා තිබුණේ කන්නන්ගර නේවාසිකාගාරය තරමක් ඈතින් පිහිටීම නිසා එය ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවට ප‍්‍රමාණවත් නොවීමය. නමුත් මෙම අනුවණ නේවාසිකාගාර මාරුව හේතුවෙන් ශිෂ්‍යයාවන් 800කට පමණ නේවාසිකාගාර අහිමි විය. 400ක් ආරක්ෂා කරන්නට 800කගේ ආරක්ෂාව මුලුමනින්ම නැති කර තිබීම කෙතරම් හාස්‍යජනක ද? එම නේවාසිකාගාර අහිමි වූ පිරිස සඳහා ගෙන ඇති සීවලි මාවතේ පිහිටි කාන්තා නේවාසිකාගාරය ඒ හා සමාන දුරින් පිහිටීම ඊටත් වඩා හාස්‍යජනක නො වේ ද? සීවලි මාවතේ ඇති කාන්තා නේවාසිකාගාරය හා සෝම ගුණ මහල් කාන්තා නේවාසිකාගාරය ලැබුනේද ශිෂ්‍ය අරගල වල ප‍්‍රතිඵලයක් ලෙසය. මෙම නේවාසිකාගාර ප‍්‍රමාණවත් වන්නේ 250කට පමණි. ඉතිරි පිරිස බෝඩින් කාමර සොයා ගත යුතුය.
මෙම වසරේදී නටා ඇති නවතම නාඩගම නම් දුර වෙනුවට ආදායම සලකා නේවාසිකාගාර ලබා දීම ය. එමෙන්ම ආදායම සලකා ඇත්තේ වාර්ශීක ආදායම 48000 අඩු සිසුන් සලකාය. අද යාචකයන්ගේ ද වාර්ශීක ආදායම ඊට වැඩිය. සරසවි නේවාසික පහසුකම් ලැබීමට සිසුන් යාචකයන්ගේ තත්වයට වැටිය යුතුය. මේ නිසාවෙන් මෙම ප‍්‍රශ්ණය උග‍්‍ර වූ අතර මාතර, ති‍්‍රකුණාමලය, බදුල්ල වැනි දුර බැහැර ප‍්‍රදේශ වල සිසුන්ට නේවාසිකාගාර අහිමි විය. නේවාසිකාගාර අහිමි වූ පිරිසට සිදු වූයේ බෝඩින් කාමර සොයා යෑමටය. ඒවායෙහි ආරක්ෂාව ගැන කිසිවෙකු වග නොකියයි. එමෙන්ම 3000-5000 වැනි මුදලක් ගෙවා බෝඩිමක නැවතීමට දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට බැරිය. උපන්දා සිට මේවන තුරුත් අප වෙනුවෙන් දහදිය හෙලන දෙමාපියන් මත තවත් බරක් තැබීමට සිදුවීම සිසුන්ටද මානසීක පීඩාවකි.
නේවාසිකාගාර ප‍්‍රශ්නය මෙසේ පල් වෙද්දී පවතින නේවාසිකාගාර වල තත්වය ඉතා ශෝචනීය ය. සෝම ගුණ මහල් කාන්තා නේවාසිකාගාරයේ සෑම ඇඳකම සිසුවියන් දෙදෙනෙක් සිටී. ගජේ ගැසීම යනු සරසවි උප සම්ප‍්‍රධායෙන් එන්නකි. ඉන් අදහස් වන්නේ තම ඇඳ තවත් මිතුරකු සමඟ බෙදා ගැනීමයි. නමුත් දැන් නේවාසිකාගාර අර්බුදයට විසදුමක් ලෙස පරිපාලනය ගජේ සඳහා අයදුම්පත් නිකුත් කර වැඩි පිරිසකට නේවාසිකාගාර ලබා දුන්නා යැයි පෙන්වීමට උත්සාහ කරයි. මෙම නේවාසිකාගාර දෙක තුළම ඇති තදබදය නිසා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩාල වී ඇත. එමෙන්ම මෙම නේවාසිකාගාර තුළ ආපනශාලා, කියවීම් ශාලා නැත. මදක් දුර බැහැර ඇති මෙම නේවාසිකාගාර වෙත යෑමට ප‍්‍රවාහන සේවයක් සපයා නැති බැවින් බොහෝ දුරක් අනාරක්ෂිතව ගමන් කිරීමට සිදුවේ. සෝම ගුණ මහල්හි නාන කාමරයක් වර්ග අඩි 4ක් පමණ කුඩාය.
පරිපාලනයට අවශ්‍ය නම් මෙම ප‍්‍රශ්ණය ඉතා පහසුවෙන් විසඳිය හැක. සිසුන් ද ඔවුන්ට විකල්ප 3ක් දී ඇත.
1 අභ්‍යන්තර නේවාසිකාගාරයක් සිසුන්ට ලබා දී නැවත සිසුවියන්ව කන්නන්ගරයට යැවීම.
2 ඉඩ අතිරික්තයක් ඇති කන්නන්ගර නේවාසිකාගාරයට ප‍්‍රථම වසර සිසුන්ව හෝ විද්‍යා පීඨයේ සිසුන්ව දමා හිස්වන හිස්වන නේවාසිකාගාරය සිසුවියන්ට ලබා දීම.
3 පරිපාලනයේ න්‍යායානුකූල කල් මැරීමේ ක‍්‍රමයේ නොගොස් වහාම නව නේවාසිකාගාරයක් මිලදී ගැනීම.
නමුත් පරිපාලනය මේ එක් පියවරක්වත් ගත්තේ නැත. මේ නිසා යෑමට තැනක් නොමැති වූ සිසුන් ජිම් ආපනශාලාවේ නතර වූහ. එහි බිම පැදුරු හා පත්තර කොළ දමා ගෙන බල්ලන් පූසන් සමඟ නිදා ගැනීමට ඔවුන්ට සිදු විය. ලිඛිතවද සාකඡු්චා මඟින් ද නිතර පරිපාලනය දැනුවත් කළද ප‍්‍රතිඵලයක් නොවූ නිසා වෙන් සිසුන්ට මහ මඟට බැසීමට සිදු විය. පරිපාලනය කළේ මෙම ප‍්‍රශ්ණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කැලණිය විශ්ව විද්‍යාල භූමියේ සිට කිරිබත්ගොඩ හංදිය දක්වා සිසුන් සංවිධානය කළ පාගමනට උසාවි නියෝගයක් ගෙන ඒමය . එහෙත් සිසුන් උසාවි නියෝග නොතකා වීදි බැසීම පොලීසියේ ද ඇසට කටු අනින්නක් විය. මේ නිසා මහා මාර්ග අවහිර කර මහ ජනයා පීඩාවට පත් කළා යැයි සිසුන් 14 දෙනෙකුට නඩු පැවරීය. මිට භික්ෂුන් වහන්සේ නමක් ද, සිසු වියන් තිදෙනෙක් ද, සිසුන් දස දෙනෙක් ද ඇතුලත් වේ. එදින මෙයට සහභාගී වීමට සරසවිය තුළ නොසිටි සිසුන් දෙදෙනකු ද මේ අතර වේ. මාර්තු 24 වන දින සිසුන් 14 දෙනාම මහර උසාවියට පෙනී සිටි අතර එහි දී නඩු අංකය වැරදි බව කියා නඩුව පසු දිනට කල් දමා ඇත. 25 දින උදෑසන නීතිඥවරයා හමුවීමට උසාවි පරීශ‍්‍රයට ගිය සිසුන්ට දැක ගන්නට ලැබුනේ පොලීසිය හා සී.අයි.ඩි යොදවා සිසුන් ඩැහැගැනීමට දරන උත්සාහයයි. පොලීසියට අවශ්‍ය වූයේ උසාවියට ඉදිරිපත් වීමට පෙර උසාවි දොරටුව අබියසදී අත් අඩංගුවට ගැනීමට ය. මෙවන් තත්වයක් තිබිය දී ඔවුන්ට උසාවියට පැමිණීමට නොහැකි බැවින් 26 වන දින උදෑසනම සිසුන් උසාවියට ඉදිරිපත් විය. මෙහි දී ඔවුන්ව ශරීර ඇප මත නිදහස් කෙරුනත් ඇප අත්සන් කිරීමට දෙමාපියන්ම පැමිණිය යුතු යැයි නියෝග කරන ලදී. ති‍්‍රකුණාමලය, රත්නපුරය, මාතලේ, පොලොන්නරුව වැනි දුර බැහැර සිට දෙමාපියන් පැමිණිය යුතුවූ නිසාවෙන් පසු දින වන තුරු ඔවුන්ව බන්ධනාගාර ගත කෙරිණ. 27 වන දින සියලුම දෙමාපියන් පැමිණ ඇප අත්සන් කිරීමෙන් පසු නිදහස් කෙරිණ. ඇප අත්සන් කිරීමට දෙමාපියන්ගේ පැමිණීම අනිවාර්ය කිරීමේ නීතියකි නැත. දුප්පත් අසරණ දෙමාපියන් අපහසුතාවයට පත් කිරීම සඳහා මෙය හිතා මතා ගත් පියවරක් බව පැහැදිලිය.
කෙසේ හෝ සිසුන් විසින් දිගින් දිගටම කළ අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස මාර්තු 27 වන දින මහර ප‍්‍රදේශයෙන් නේවාසිකාගාරයක් දිනා ගැනීමට හැකි විය. මින් බෝඩින් වල සිටින පිරිසෙන් කොටසකට පමණක් නේවාසික පහසුකම් ලැබුන ද නේවාසිකාගාර අහිමි පිරිස තවත් ඇත. එමෙන්ම සෝම ගුණ මහල් හා සීවලි මාවතේ නේවාසිකාගාර වල ඇති තද බදයද එසේම පවතී. එමෙන්ම සිසුන් දැනට නැවතී සිටින ජිම් කැන්ටිමෙන් එදිනම ඉවත් විය යුතු බවට නියෝග කළ ද එම අසාධාරණ නියෝගය ප‍්‍රතික්ෂේප කරමින් 28 වන දිනට කල් දමා ගැනීමට සිසුන්ට හැකි විය.
පරිපාලනය බලා සිටින්නේ සිසුන් ප‍්‍රකෝප වී තම අයිතීන් ඉල්ලා මහ මඟට බසින තුරුය. එවිට පිටත සිටින මහ සමාජය දකින්නේ විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනය පසෙකලා දේශපාලනය කරන බවයි. සිසුන්ට වී ඇති අසාධාරණය වසා දමා සිසුන් ගැන වැරදි ආකල්පයක් ගොඩනැගීම අද මුදලට විකිණී ඇති බොහෝ මාධ්‍ය හරහා කර ගත හැක.
ශී‍්‍ර ලංකාව තුළ අද සීඝ‍්‍රයෙන් ඉදි වන අධිවේගී මාර්ග, නව ගුවන් තොටුපල, වරාය වැනි ඉදි කිරීම් වෙනුවෙන් කෝටි ගණන් වැය කරයි. පසු ගිය වසරේ පැවැත් වූ චෝගම් සඳහා ඳ විශාල ධනස්කන්ධයක් වැය වූ බව නොරහසකි. නිරපරාදේ මුදල් නාස්ති කරමින් කරනු ලබන දැයට කිරුල තවත් නාඩගමකි. මේ මොනවා කලත් අපට ප‍්‍රශ්ණයක් නැත. එහෙත් මේවාට ධනස්කන්දය වැය කරමින් සිදු කරනුයේ දුප්පතාගේ බත් පතෙහි ඇති බත් ඇට එකිනෙක අඩු කරමින් ධනවතාගේ බත් පතට එක් කිරීමය.
සරසවි සිසුන් වන අප රජ කම ඉල්ලන්නේ නැත. අප ඉල්ලන්නේ අප ඉගෙනුම ලබන වසර කිහිපය තුළ නිදහසේ අධ්‍යනය කර ගෙන යාමට සුදුසු වාතාවරණයක් පමණි. අධ්‍යයන කාලය තුල ජීවත් වීමට නේවාසිකාගාරයක් හා දෙමාපියන්ට බරක් නොවී මෙම අධ්‍යයන වර්ෂ කිිහිපය ගත කිරීමට ප‍්‍රමාණවත් මුදලක් පමණි. මරණ තර්ජන, පහර කෑම් වලට ලක් නොවී බිය සැක නැතිව ඉගෙන ගැනීමට පමණි.
සිසුන්ට තම අයිතිවාසිකම් හා නිදහස ලබා දේ නම් ඔවුන් මහ මඟට නොබසිනු ඇත. උද්ඝෝෂණ, උපවාස නොකරනු ඇත. නමුත් අද ශී‍්‍ර ලංකාව තුළ සිදු වන්නේ සිසු අයිතින් ලබා දෙනු වෙනුවට බැටන් පොලු, කදුලු ගෑස් හා රබර් උණ්ඩ වලින් සංග‍්‍රහ කර සිසුන් පීඩාවට පත් කිරීමය.