මේ වන විට කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨයේ හා අධ්‍යාපන පීඨයේ විද්‍යාර්ථීන් විසි දෙනෙකුට(20) ආසන්න පිරිසකට පන්ති තහනමක් ලැබී තිබේ. මේ තහනමට හේතු වී ඇත්තේ අත්තනෝමතිකව නේවාසික ගාස්තු වැඩි කිරීමට එරෙහිව රත්මලාන තෙලවල නේවාසිකාගාරය ඉදිරිපිට හා මහරගම නාවින්න නේවාසිකාගාරය ඉදිරිපිට විරෝධතාවක් දැක්වීමයි. ලක්බිම පුවත්පතට මීට සතියකට ඉහතදී ප්‍රකාශයක් කළ උපකුලපති කුමාර හිරඹුරේගම පවසා සිටියේ අනවසරයෙන් කාන්තා නේවාසිකාගාරයට ඇතුළු වූ සියළු විද්‍යාර්ථීන්ට එරෙහිව පියවර ගන්නවාය යනුවෙනි. දැන් ඒ පියවර ගෙන ඇත. තෙවන හා සිව්වන වසර විද්‍යාර්ථීන් පිරිසකට මේ අනුව පන්ති තහනම ලැබී තිබේ.
උපකුලපති කුමාර හිරඹුරේගම විටක කියා සිටියේ සිසුන් අනිසි වාතාවරනයක් ඇති කළ බවයි. නමුත් හිටිහැටියේම අන් කවර සරසවියකවත් නොවූ පරිද්දෙන් නේවාසික ගාස්තු(සංඛේතමය) රුපියල් දහසේ(1000) සිට රුපියල් තුන්දහස(3000) දක්වා වැඩි කලේ පරිපාලනයය. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරයට සරසවියට අයත් භූමිය කොල්ල කන්නට ඉඩ දුන්නේද මේ උප-කුලපති ඇතුළු පරිපාලනයමය. දේශන ශාලා අබලන්ව තිබියදී හා සරසවියේ සිටින විද්‍යාර්ථීන් හට අවම වශයෙන්වත් වැසිකිළි පහසුකම් නොවන අවස්ථාවක නාගරික සංවර්ධන අධිකාරයේ අවශ්‍යතාවයකට (නිදහස් චතුරස්‍රය අවට ව්‍යායාමවල යෙදෙන පුද්ගලයන් වෙනුවෙන්) සැප පහසු වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට අවකාශය සලසා දුන්නේද මේ පරිපාලනයමය. පොදු පහසුකම් හා සුබසාධන කටයුතු ඉටු නොකිරීම හා මුදලට පමණක් මුල් තැන දී කටයුතු කළ පරිපාලනයට එරෙහිව සිසුන් හඬ නැගීම උප-කුලපති දකිනුයේ අනවශ්‍ය වාතාවරණයක් ලෙසය. මේ දෙස බලන ඕනෑම අයෙකුට පෙනෙන්නේ අනිසි වාතාවරණය වෙන කවුරුවත් නොව, පරිපාලනය විසින්ම නිර්මාණය කරන ලද්දක් බවයි.
"ජ"පුරට මර්ධනය එන විට කොළඹ නිහඬ වූයේ "එය අපේ ප්‍රශ්නයක්" නොවේයැයි පවසමිණි. පේරෙට මර්ධනය එන විටත් එසේමය. කැළණියට හා රුහුණට මර්ධනය ආ විටද කොළඹ සරසවියේ බහුතර විද්‍යාර්ථීන් ඊට එරෙහි නොවූයේ එය අපේ ප්‍රශ්නයක් නොවන බව පෙර මෙන්ම පවසාය. නමුත් දැන්.....? පේරෙට, "ජ"පුරට හා රුහුණට ආ මර්ධනය කොළඹට ද පැමිණ තිබේ. කළ යුතුව ඇත්තේ, පීඨ වශයෙන් හා සරසවි වශයෙන් හුදකලා සටන් වල නොයැලී, සියල්ලන්ගේම සහභාගීත්වයෙන් සමස්ත සරසවි පද්ධතියේම ඇති වී ඇති රාජ්‍ය මර්ධනයට එරෙහිව කටයුතු කිරීමය.