මොනරාගල සංකේත සත්‍යග්‍රහයට දේශපාලන මැර ප්‍රහාරයක්

ශ්‍රීලංකා සබරගමුව විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන් මහා ශිෂ්‍ය සංගමය ඇතුලු පීඨ ශිෂ්‍ය සංගම් 05 නැවත ස්ථාපිත කරන ලෙසත්, අසාධාරණ පංති තහනම් 08 අහෝසි කරන ලෙසත් ආදිය මූලික කරගත් හා තවත් ගැටළු කීපයක් නිරාකරණය කරගැනීම පිනිස අඛන්ඩ සත්‍යග්‍රහයට එළඹ 2014.09.14 දිනට, දින 13ක් සම්පූර්ණ වේ. එහෙත් මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලබාදීමට කිසිදු පරිපාලන නිලධාරියෙකු පෙළඹී නොමැත.

මෙකී ශිෂ්‍ය ක්‍රියාමාර්ගයට සමගාමීව ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ද නගර කිහිපයක් තුළ ක්‍රියාත්මක කිරීමට ශිෂ්‍යයන් කටයුතු කරන ලදි. බලංගොඩ ප්‍රදේශයෙන් ඇරඹුනු මෙකී වැඩපිළිවෙල පසුව බණ්ඩාරවෙල, බදුල්ල, වැල්ලවාය නගර දක්වා ව්‍යාප්ත විය. මෙකී වැඩපිළිවෙලේම තවත් දිගුවක් 2014.09.14 දින මොනරාගල නගරයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද එකී ක්‍රියාමාර්ගයට ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ මැර ප්‍රහාරයක් එල්ල විය.

මැරයින් පිරිසක් සමග පැමිණි මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ශිෂ්‍යයන් සතුව තිබූ බැනර් ඇද දමා ප්‍රචාරක පුවරු කඩා බිඳ දමා "විනාඩි 05ක් තුළ එකී ස්ථානයෙන් පිටව නොගියහොත් මොනරාගල ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන" බවට තර්ජනය කල අතර ශිෂ්‍යයන්ට දරුණු ලෙස බැණ වදින ලදි.

තවද පොලිස් බාධා කිරීම් රැසක් ද සංකේත සත්‍යග්‍රහ ව්‍යාපාරයට එල්ල විය. ශිෂ්‍ය ක්‍රියාමාර්ගයට ආරක්ෂාව සැපයිය නොහැකි බවටත් වහාම නගරයෙන් ඉවත්වන ලෙසටත් පොලීසිය ශිෂ්‍ය නියෝජිතයන්ට බලපෑම් එල්ල කරන ලදි.

කෙසේ වුවද අවාසනාවන්ත තත්වය, ප්‍රාදේශීය දේශපාලකයන් සිය මැර බලය සාමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසීම උදෙසා අසාධාරණ ලෙස යොදාගැනීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනාගැනුමට වීදි බට සිසුන්ට තර්ජනය කරනු ලැබුවා සේම පොලීසියටද බලපෑම් කිරීමට උක්ත ප්‍රාදේශීය දේශපාලකයා බලවත් වීම පුදුම සහගත නොවනුයේ රටේ ප්‍රධාන පාලකයන්ද කටයුතු කරමින් සිටිනුයේ රාජ්‍ය පාලනය සිය පවුලේ බූදලයක් ලෙස සිතාගෙන වන නිසාමය.

බලය උදෙසා සියලු වටිනාකම් පහතට හෙලමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරමින් අන්තනෝමතික පාලනයක් ගෙන යන ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලකයින්ගේ ආදර්ශ කුඩා පෙළේ ප්‍රාදේශීය දේශපාලකයන් ලබාගැනීමත් සමග රටේ ඇතිවිය හැකි තත්වයට කදිම නිදර්ශනයක් ඉහත සිදුවීමෙන් සපයා ගත හැක.

කෙසේ වුවද සබරගමු විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් 05 අහෝසි කර අදට දින 548ක් හා මානව හිමිකම් කොමිසමේ නියෝගය කඩ කර අදට දින 168ක් සම්පූර්ණ වී තිබියදී පවා කිසිදු පිළිගත හැකි ප්‍රතිචාරයක් ශිෂ්‍යයන්ට ලබා දීමට පාලකයන් අසමත්ව තිබීමෙන් කිසිඳු ශිෂ්‍යයෙකුගේ අයිතීන් රැක දීමට ඔවුනට කිසිදු උවමනාවක් නොමැති බව පෙන්නුම් කරයි.

අවසන පැවසිය යුත්තේ නොයෙකුත් බාධක පැමිණියද ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය කිසිඳු අයුරකින් නතර නොකරන බවත් හෙට දිනයේ යළිදු ශක්තිමත්ව නැගී සිටින බවත් ඉල්ලීම් සියල්ල දිනා ගන්නා තුරු සටන අත් නොහරින බව මෙන්ම ශිෂ්‍ය ක්‍රියාමාර්ගය වටා හෙට දිනයේ සියලු ජනයා ඒකරාශී වනු ඇති බවයි.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>