රුහුණ පරිපාලන ගොඩනැගිල්ල සිසුන් නවාතැන්පල කර ගනී.

රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල තුල නවාතැන් ගැනීමට රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් අද (27) දින කටයුතු කර ඇත. උද්ඝෝෂණ පාගමනකින් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණි සිසුන් එම ස්ථානයේ විරෝධතාවය දක්වා පරිපාලන ගොඩනැගිල්ල තුල නතර වීමට තීරණය කර ඇත. ඒ නවක සිසුන්ගේ නේවාසිකාගාර සම්බන්ධ ගැටළුවක් විසදීමට පරිපාලනය කටයුතු නොකිරීම හේතුවෙනි.
රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයට පසුගිය සඳුදා (26) සිසුන් 319 ක ශිෂ්‍ය කණ්ඩායමක් බඳවා ගන්නා ලදි. එම විශ්වවිද්‍යාලයේ සාමාන්‍යයෙන් ප‍්‍රථම වසර හා අවසන් වසර ශිෂ්‍ය කණ්ඩායම් සඳහා නේවාසිකාගාර පහසුකම් හිමි වේ. නමුත් මෙම නවක ශිෂ්‍ය කණ්ඩායමට නේවාසිකාගාර පහසුකම් නොලැබෙන බවත් ඔවුන්ට නවාතැන් සඳහා කුලී නිවාස සොයා ගන්නා ලෙසත් ලිපියකින් දැනුම් දී ඇත. මේ පිළිබඳ ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ සාකච්ඡුා කිරීමට උත්සාහ කලද දිගින් දිගටම සාකච්ඡුාවක් ලබා දීම මගහැරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර තිබේ.
මේ අකාරයට නේවාසිකාගාර පහසුකම් ලබා නොදීමට හේතු ලෙස පරිපාලනය ප‍්‍රකාශ කරන්නේ දැනට සිටින ප‍්‍රථම වසර කණ්ඩායමට ප‍්‍රථම වසර අවසන් වීමට තවත් මාස 02 ක් පවතින බවත් ඒ නිසා නවක ශිෂ්‍යාවන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දීමට ප‍්‍රමාණවත් ඉඩකඩ නොමැති බවත්ය. දැනට සිටින ප‍්‍රථම වසර කණ්ඩායමේ අධ්‍යන වර්ෂය අවසන් වීම ප‍්‍රමාද වීමට හේතුවද විශ්වවිද්‍යාල පරිපාලනයේ අත්තනෝමතික තීරණයකි. ඒ විභාගය සඳහා පෙනී සිටීමට 80% ක් දේශන පැමිණීම අනිවාර්ය කරමින් සිසුන් විශාල ප‍්‍රමාණයකගේ විභාග අයිතිය අහිමිවීම සම්බන්ධ ගැටළුවකි. මෙහිදී විභාග අයිතිය අහිමි කිරීමට එරෙහිව සිසුන් අඛණ්ඩව සත්‍යග‍්‍රහයක් ආරම්භ කිරීම හා එම ගැටළුව විසඳනවා වෙනුවට අත්තනෝමතික ලෙස  කළමනාකරණ පීඨය වසා දැමීම හේතුවෙන් 2013/2014 ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීම ප‍්‍රමාද වීමයි.
නේවාසිකාගාර පහසුකම් ප‍්‍රමාණවත් නොවීම සඳහා ශිෂ්‍ය සංගමය විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ලදි. ඒ ශිෂ්‍යයාවන් සඳහා තාවකාලික කුලී පදනම මත නිවසක් මිලදී ගෙන එහි ආරක්ෂක වැඩපිලිවෙලක් සහිතව නවාතැන් ලබා දෙන ලෙසත් මැද්දවත්ත පිරිමි නේවාසිකාගාරයේ  දැනට සිටින ප‍්‍රථම වසර කණ්ඩායම ඉන් ඉවත් වී නවක ශිෂ්‍යයන්ට එම ඉඩකඩ ලබා දීමයි. එමෙන්ම පඹුරණ කාන්තා නේවාසිකාගාරයේ ද ඉඩපහසුකම් පවතින බව පෙන්වා දෙන ලදි. එහෙත් එම යෝජනා විශ්වවිද්‍යාල පරිපාලනය ප‍්‍රතික්ෂේප කරන ලදි.
ඒ අනුව නේවාසිකාගාර පහසුම් රහිතව පසුගිය සඳුදා (25) නවක සිසුන් බඳවා ගන්නා ලදි. පසුගිය කාලය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අවස්ථා කිහිපයකදීම විශ්වවිද්‍යාලය අවට පුද්ගලයන්ගෙන් පහර කෑමට සිදුවිය. ශිෂ්‍යාවන්ට විවිධ අඩත්තේ්ට්ටම් වලට ලක්වන්නට සිදුවිය. එමෙන්ම කුලී නිවසකදී රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් දුෂණය කර ඝාතනය කිරිමක් ද සිදුවිය. මෙම ප‍්‍රදේශයේ කුලී නිවාසයක රැුඳී සිටීම ශිෂ්‍යයන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයකි. එමෙන්ම ශිෂ්‍යයන් බරපතල ආර්ථික දුෂ්කරතා වලටද මුහුණ දීමට සිදුවනු ඇත.
මේ කුමන ආකාරයක ගැටළු මතු වුවත් ප‍්‍රමාණවත් පරිදි නේවාසිකාගාර පහසුකම් තිබියදී පවා මෙම ගැටළුව විසඳීමට පරිපාලනය කටයුතු නොකරන්නේ ශිෂ්‍යයන්ගේ එකමුතුව, සාමුහිකත්වය බිඳ දැමීම උදෙසා බව ඉතා හොදින් පැහැදිලි වන කරුණකි. සිසුන් විශාල ප‍්‍රමාණයක් එක් ස්ථානයක සිටින විට ඔවුන් අතර දැඩි සාමූහිකත්වයක් වර්ධනය වන බව පරිපාලනය දන්නා අතර එය ඔවුන්ට විශාල අභියෝගයකි.

ප‍්‍රථම වසර සිසුන්ට නේවාසිකාගාර ලබා නොදීමට ගත් තීරණයට එරෙහිව රුහුණ විශ්වවිද්‍යාලයේ  සිසුන් අද (27) දින දහවල් 12.30 පමණ සිට විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලේ රැුඳී සිටීමට කටයුතු කර ඇත. මෙහිදී රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු ප‍්‍රකාශ කලේ නවක ශිෂ්‍ය කණ්ඩායමට නේවාසිකාගාර පහසුකම් ලබා දීමට කටයුතු කරන තුරු අඛණ්ඩව පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටින බවයි.


  


  

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>