NSBM උපාධි SALE ළඟදීම හෝමාගමට



NIBM ආයතනයේ උපාධි පාසැල ලෙස පවත්වාගෙන යන NSBM ආයතනයේ නවතම උපාධි වෙළඳ සැල හරිත විශ්වවිද්‍යාලය නමින් හෝමාගම ප්‍රදේශයේ මේ වනවිට ඉදිකරීම් නිමවෙමින් පවතී.නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ NSBM ආයතනය මගින් ඉදිකරන බවට පැවසෙන මෙම ව්‍යාපෘතියට රුපියල් බිලියන 10.2 පුර්ණ මුල්‍ය ආධාර ලබාදී ඇත්තේ රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව විසිනි.උපාධි අපේක්ෂකයින් 30000 කට එකවර අධ්‍යාපනය ලැබිය හැකි ලෙස අති නවීන පහසුකම් සහිතව ඉදිවන මෙම විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් 1000 පමණ පිරිසක් බඳවා ගැනීමටද ඉල්ලකකර ඇතැයි පැවසේ.උසස් පෙළ නිමකළ, ජාතික විශ්වවිද්‍යාල තුලට ප්‍රවේශ වීමට අවස්ථාව නොලැබුණු සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා හිමිකරදෙමින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමත් විදේශ විනිමය අදායම් ඉපයීමත් මෙහි අරමුණ බව අමාත්‍ය සරත් අමුණුගම පවසා ඇත.තවද, වරෙක දැනට NSBM ආයතනය තුල ඉගෙනුම ලබන සිසුන් ඇමැතූ  අවස්ථාවකදී සරත් අමුණුගම මහතා NSBM සිසුන්ට සියයට 99.99 කටම  රැකියා සහතික වන බවට ප්‍රකාශ කර ඇත.

මෙලෙස NSBM උපාධි වෙළඳ සැල හරහා පාලකයින්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත නැවතත් හෙළිවී තිබේ.අධ්‍යාපනය පෞද්ගලීකරණයට පසුගිය රජය ගත් පියවර නිවැරදි දිශාවට යොමුවුවක් ලෙස සලකමින් මෙම රජයද තම පළමු අයවැය කතාවෙන්ම තම ප්‍රතිපත්තියද අධ්‍යාපනය විකිණීම බව පිළිගත්තේය.එය තහවුරු කරමින්,අධ්‍යාපනය සිල්ලරට විකිනිමට පසුගිය රජය හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කල NSBM  හරිත සරසවි ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීමට මෙම රජයද තීරණය කිරිමෙන් පෙනී යන්නේ අධ්‍යාපනය විකිණීමේ හෙළුවැල්ල නොවේද.මෙහිදී අවධාරණය කලයුතු කරුණක් වන්නේ රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව මෙම ව්‍යාපෘතියේ සම්පුර්ණ මුල්‍ය බරපැන දැරීමයි.ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ධාරිතාවය වැඩිකරමින් එහි බඳවාගැනීම් ඉහල දමන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම අරගලයක නිරතව සිටියදී පවා රජයේ අනුග්‍රහය මත උපාධි කඩ ආරම්භ කිරීමට පියවර ගැනීම  තුලින් පැහැදිලි වන්නේ නිදහස් අධ්‍යාපනයේ අනාගතය සම්බන්ධයෙන් ඔවුන්ට ඇති ප්‍රතිපත්තිය නොවේද ?සිසුන් 30000 කට පමණ එකවර අධ්‍යාපනය ලැබිය හැකි ලෙස පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ඉදිවන විශ්වවිද්‍යාලයක නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු නොකරන්නේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කරමින් එයින් ලාභ ඉපයීමේ ධනපති වුවමනාව සපුරාලීමට නොවේද.රජයේ ඇමතිවරුන්ගේ විලිලැජ්ජා නැතිකම වනුයේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුලින් පිටවුනු උපාධිධාරීන් රැකියා නොමැතිව මහපාරේ ලගිද්දී ඒවා නොදන්නවා සේ සරත් අමුණුගම NSBM ආයතනයෙන් පිටවන සිසුන් අමතා සියයට 99.99කටම රැකියා ලබාදෙන බවට සහතික වීමයි.

කෙසේවෙතත් අධ්‍යාපනය වෙළඳපොලේ විකිණීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගත් ධනේශ්වර පාලකයින්ගෙන් මිට වැඩි යමක් බලාපොරොතු විය නොහැක.නමුත් සමාජ අයිතියක් වූ අධ්‍යාපනය අමු අමුවේ විකුණමින් සීමිත කොටසකගේ වරප්‍රසාදයක් බවට පත්කිරීමට පාලකන් දරන උත්සාහය දෙස බලාගෙන හුල්ලමින් සිටීමටද නොහැක.ඉතිහාසයක් පුරාවට ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රයෝගිකව අත්විද ඇති කාරණය නම් පාලකයින් විටින් විට ගෙන එන අධ්‍යාපන පෞද්ගලිකරණ වැඩපිළිවෙලවල් පරාජය කලහැක්කේ එකට එක්ව  සිදුකරන අඛණ්ඩ සටනක් තුල බවයි.මෙහිදී උපාධි කඩවලින් උපාධි කොළ මිලට ගන්නට සිදුවී ඇති සහෝදර සහෝදරියන්ට මතක් කලයුතු කරුණ වන්නේ අධ්‍යාපනය විකිනීමට එරෙහිව ධනපති පාලකයින් සමග සටන රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් අතර ගැටුමක් බවට පත් කිරීමට පාලකයින් ගෙනයන ව්‍යාපාරයට හසු නොවන ලෙසයි.ලක්ෂ ගණනක් වැයකරමින් උපාධි කඩ සොයාගොස් උපාධි මිලට ගැනීමට සිදුවුයේ පාලකයින් විසින් අධ්‍යාපනයට වෙන්කරන ප්‍රතිපාදන දිගින් දිගටම කප්පාදු කරමින්, ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ධාරිතාවය වැඩිනොකිරීම හා  ඒවාට බඳවා ගන්නා ප්‍රමාණය ක්‍රමයෙන් ඉහල නොදැමීම හරහා කොතලාවල, IESL, NSBM වැනි උපාධි කඩවල අවශ්‍යතාවය නිර්මාණය කිරීම නිසා බව අප අවබෝධ කරගත යුතුය.රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වෙන්කරන ප්‍රතිපාදන කප්පාදු කරීම හරහා අධ්‍යාපන අයිතිය අහිමිවන සිසුන්ට තම එකම ගැලවුම්කාරයා උපාධි කඩ බව රජයේ ඇමැතිවරුන්ම පැවසීමෙන් මෙලෙස ගොනාට අන්දවන්නට උත්සහ කරන්නේ අධ්‍යාපන අයිතිය අහිමි කරන ලද ජනතාවය.කොතලාවල ,IESL, NSBM ඇතුළු උපාධි කඩ අහෝසි කරනු යන සටන් පාඨ මුලික කරගනිමින් අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි සටන දියත් වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට නොව සබැ ලෙසම නිදහස් අධ්‍යාපන අයිතිය උදුරාගත් පාලකයින්ගෙන් නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම උදෙසාය.ඒ මගින් වෙළඳ භාණ්ඩයක් බවට පත්කරන ලද අධ්‍යාපනයේ අයිතිය නැවතත් සමස්ත සමාජයට දිනගැනිමටය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>