පානමට යුක්තිය කෝ?

යහපාලන ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත.
රාජපක්ෂලා කොල්ල කෑ පානම ඉඩම් වහා ලබා දෙනු!

පානම යනු පොතුවිල් නගරයේ සිට කිලෝමීටර 20ක් පමන දුරින් පිහිටි ගම්මානයකි. 2010/07/16 දින පැවැති රාජපක්ෂ ආණ්ඩුව විසින් මැරයන් යොදවා පහර දී, ගෙවල් ගිනිතබා විනාශ කොට ගම්වාසීන්ව පලවාහැර අක්කර 1200 කට ආසන්න භූමි ප්‍රදේශයක් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ලදී. එතැන් පටන් එම ප්‍රදේශය ජනතාවට තහනම් ප්‍රදේශයක් ලෙස නම් කොට හමුදාවේ පූර්ණ මැදිහත් වීම යටතේ හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.
ප්‍රදෙශවාසීන් තමන්ට ඇති එකම විකල්පය ලෙස උසාවියේ පිහිට පැතූ අතර උසාවියේ නියෝගය වී ඇත්තේද මෙම ඉඩම් නැවත ජනතාවට ලබා දිය යුතු බවයි.
නමුත් රාජපක්ෂ රජය උසාවි නියෝග පවා ප්‍රතික්ශේප කරමින් ජනතාවට ඉඩම් ලබා දීම වෙනුවට තම ව්‍යාපෘතිය දිගින් දිගටම සිදු කරන ලදී.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් යහපාලන නඩය ඡන්ද කඩා ගැනීමේ කූට උපක්‍රමයක නියැලෙමින් ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් ලෙස මෙම ඉඩම් නැවත ජනතාවටම ලබා දෙන බව පවසමින් ජනතාවගේ ඡන්දෙන් තේරී පත් විය. සිදුවුයේ ජනතාව කබලෙන් ලිපට වැටීම පමනි. එම ඉඩම් ජනතාවට ලබා දෙනවා වෙනුවට ජීවත්වීමට නුසුදුසු, වගාවන් සඳහා නුසුදුසු, වල් අලි ගහන ප්‍රදේශයක ඉඩම් ජනතාවට ලබා දී ජනතාවගේ ඉඩම් වල දයා ගමගේ අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නැවත සුවිශාල හෝටල් සංකීර්ණයක් ඉදිකරමින් පවතී.
ත්‍රිවිද හමුදාවේ ආරක්ෂාව සහ ශ්‍රමය යොදා ගනිමින් හොර රහසේ ඉදිවන මෙම හෝටල් සංකීර්ණය පිහිටි භූමියට සාමාන්‍ය වැසියන්ට ඇතුලුවීම තහනම් කර ඇත.මෙම තොරතුරු සොයා බැලීම සඳහා ගිය අ.වි.ශි.බ.ම කණ්ඩායමටද හමුදා නිළධාරීන් තර්ජනය කොට ඡායාරූප පවා මකාදැමීමට නියෝග කර ඇත.
නැවත ප්‍රදේශවාසීන් උසාවියේ පිහිට පැතුවද වත්මන් යහපාලන ආණ්ඩුවද උසාවි නියෝගය කඩ කරමින් ඔවුන්ගේ ව්‍යාපෘතිය දිගින් දිගටම සිදු කරයි.
මේ මොහොත වන විට තම ජීවන අවධානම ගැනවත් නොසිතා ප්‍රදේශවාසීන් හමුදාව සතු තම ඉඩම් වලට ඇතුලු වී කුඩා පැල්පත් සාදාගෙන ගොවිතැන් ආරම්භ කර ඇත. නමුත් දිනපතා රජයේ නිළධාරීන්ගෙන් සහ මැරයන්ගෙන් එන තර්ජන, බියවැද්දීම් වලනම් අඩුවක් නොමැත. තම ගැටලු වලට ඇති එකම විසදුම අරගලය බව තේරුම්ගත් මෙම ජනතාව අරගල බිමට පිවිස ඇත. ඔවුන් පසුගිය 21 වන දින පානම නගරයේ දැවැන්ත උද්ඝොශනයක් පවත්වන ලදී.
මේ ඔබගේ සහයෝගය ඔවුනට අවැසි මොහොතකි. අසාධාරණයට එරෙහිව නැගී සිටිමු.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>