සිනමා හළෙන් නැගෙන හඳයාගේ උද්ඝෝෂණය
“ඒ නිලන්කාර සිහිනෙන් ඇහැරෙන්න”
එදිනෙදා මුහුණ දෙන පීඩාවල්වල දී අපි අඬනවා, නැත්තම් පන්සල් යනවා එක්කෝ බොනවා. ඒත් ලංකාවේ ගැහැණිය බොන්නේ නැහැ කියලා එකකුත් තියෙනවනෙ. ඒ අභියෝගය හඳයා කලින් කියවලා තියෙනවා. කාලෙකට පස්සේ ආයෙත් අඳගම පායලා අපේ සිනමා අහසට. එහෙම හිතුණේ හඳගමගේ අලුත් ෆිල්ම් එක “ඇගේ ඇස අග” බලපු වෙලාවේ
උගත් වියපත් මහාචාර්යවරයෙක්, තැන්පත් බිරියක්, ඉන්ටර්නැෂනල් ස්කූල් යන මැදිවියේ දුවෙක්, සරසවි ශිෂ්‍යාාවක්, මේ චරිත ටික අපේ භාෂාවෙන් කිව්වොත් මැද පන්තියේ සහ ඒ පන්තියට පනින්න ඉන්න සෙට් එකේ කතාවක් වගේ. මේ තෝරා ගැනීම හරි සුලභයි. හැබැයි හඳයා දකින පැත්ත හරි දුලබයි. “ඇගේ ඇස අග” අපේ ඒ ජීවන චක්‍රය පොඞ්ඩක් කරකවලා, ගොඩක් දෙදරවලා ආයේ කරකවලා අපේ ඔළුවට ගහන්නේ සනීපෙට වැදිලා පස්සේ රිදෙන්න. ඔලු කම්පනය වෙන්න.
අපිට පේන විදියට නම් මේක මේ පවතින සමාජ අර්බුදය ඇතුලේ පවුල දෙදරලා යන පැතිකඩක සංකීර්ණකම ෆෝකස් කරලා තියෙනවා. ඒ සිදධිය වටේට සිනමාවෙන් චිත්‍රණය කරන්න යන්නේ අපි නිදාගෙන ඉන්න හීනෙන් අවදි උනාම කෙලින පිස්සු. තවත් සරලව කිව්වොත් හුරුවිච්ච ජීවන චක්‍රයෙන් ගැලවෙච්චහම අපි පත්වන තත්ත්වය මොකක්ද කියලා හඳගම හොයන්න උත්සාහ කරනවා. හඳගමට ඒක සිනමාව ඇතුලේ හම්බවුණත්, තාමත් අපේ ජීවිත ඇතුලේ අපි ඒක හොයනවා, හොයන්න බය අය තාමත් නිදනවා
කේන්ද්‍රීය චරිත කිහිපයකින් හඳගම හොදට වැඩ අරන් තියෙනවා. සරසවි ශිෂ්‍යාවගේ දක්‍ෂකමට ළං වෙනවා යැයි කියන මහාචාර්යවරයා ඇය එක්ක යහන් ගත වෙනවා. සරසවිවල අහන්න ලැබෙන ප්‍රසිද්ධ රහස හඳගම වෙන දිශානතියකට කරකවනවා. ඒ තමයි fමි වැඩිහිටි මහාචාර්යවරයා ඇගෙන් රති සුවය සොයද්දී, සිසුවිය ඔහුගෙන් ආදරය හොයනවා. මේ දෙන්නට දෙන්නා හොයනවා උනාට දෙන්නව හම්බවෙන්නේ තහනම කියන සමාජ සම්මතය තුළ යි. ඇත්තට නම් දෙන්නටම දෙන්නා වසඟ උනාට, තහනම නිරාවරණය වෙන හැටි සිසුවිය හා මහාචාර්යවරයාගේ බිරිය සමග ඇති වන දුරකතන සංවාදයකින් එළියට එනවා. ඒ සමගම බිරිද සිසුවියව ගෙදරට කැඳවා නවාතැන් දීම නම් පොඩි ආකස්මික ගතියක් තියෙනවා. ඒ සිතුවිල්ලම වැරදි වග හැගෙන්නේ ඊලග රූප රාමු පෙළින්. ගමේ නම් කියන්නේ මේකට ගෑනු ගැට කියලයි. ඒක ඇත්තටම උපක්‍රමයක් මහාචාර්යවරයාගේ බිරිය යොදන. එහෙම ගත්තහම ඒ සිද්ධි පෙළ අතාත්ත්විකම නැහැ
ඊළග වැදගත්ම එක තමයි මේ සමාජ අර්බුධ සමනය කරගැනීමට අපි හොයන විකල්පය ආගමේ පිළිසරණ. ඇගේ ඇස අග කෘතිය ඒ විකල්පය ඒ ගැන ප්‍රශ්නයක් මතු කරනවා. ඒක මේ මොහොතේ හෝ සිනමාවට නැගීම පිළිබඳව අපිට නම් තියෙන්නේ පහන් හැගීමක් හඳගම ගැන.
කොහොම උනත් මේ සමාජ පීඩාවල් සමනයට ආගමේ තියෙන අසමත් කම අපි කතා නො කර බැහැ. මහාචාර්යවරයාගේ බිරිය නිවසේ බුදුන් වැදීම, පීඩාවේ තීව්‍ර වීමත් එක්ක පන්සලට යෑමට පුරුදු වීම දක්වා රැගෙන යනවා. පන්සල් බිම කතාවේ සන්ධිස්ථානයක් බවට ගොඩනගන්නට හඳගම උත්සාහ කරනවා. පන්සලේ දී සුදන වෙස් ගත් මැද පාන්තික වහන්තරා පිටුපස හැන්ගිච්ච, ව්‍යාජ සභ්‍යත්ත්වය හිටි හැටියේ පුපුරනවා. හැබැයි ඒ සිද්ධිය මහාචාර්ය පවුල තුළින් නොවීමට හඳගම වග බලා ගන්නවා. පරුෂ වචනයෙන් බැන ගන්නා කාන්තාවන් දෙදෙනෙක්, ඒ ගැටුමට මුල්වන මැද පාන්තික ප්‍රභූවරයෙක් එහි දී ඒ කතාවට හඳගම ඈදගන්නවා. ගැටුමේ උච්චතම තැන දී පහන් වැට ඔසවා ගත් ප්‍රභූවරයාගේ බිරිද අනිත් කාන්තාවට ගහන්නට පැන්නීම, පිස්තෝලයකින් වෙඩිල්ලක් නිකුත් වන හඩ, පන්සලේ හාමුදුරුවන්ගේ මැදිහත් වීම, කියන සිද්ධි මාලාව සියුම්ව ගැටගහලා පීඩාවේ දී අපි තෝරා ගන්නා විකල්පය ප්‍රශ්න කරන්න හඳගම හදනවා. වැස්ස වෙලාවෙත් ගැටුම නතර වෙන්නේ නැහැ. ඒ වෙලාවේ එයින් තිගැස්මට පත් මහාචාර්ය පවුලේ පිරිස සහ සිසුවිය කාර් එකට පැන ගන්නවා. හැබැයි එතකොට ඒ හැමෝම වැස්සෙන් තෙමිලා තෙතබරි වෙලා. අපිට උනේ ම ඕකනේ. වැස්සට ගස් යටට දුවපු අපිට හැන්ගිලා පැනලා යන්න වහලක් හොයාගන්නේ තෙමුනට පස්සේ.
ඉතින් මේ සමාජ වහන්තරා, ව්‍යාකූලතා ගොඩගහපු සමාජ ක්‍රමය ගැන සියුම් ව සිනාමා හළෙන් එළියට ඇවිල්ලා හිතන්න කාලය ඇවිල්ලා. ව්‍යාජයන් පසු පස දුවන හීනවල නිදන සමාජ සම්මත අසම්මතයන් අතර වසඟ වුණු අපිට ෆිල්ම් එකේ අවසානයේ එන තේමා ගීතයෙන් අදහසක් කුලුගන්වා ගන්න පුලුවන්. චිත්‍රපටය ගැන ද. නෑ.. නෑ මේ සමාජ ක්‍රමය ඇතුලේ බැටකාලා අසර වෙච්ච, පැටලිලි වෙච්ච අපි ගැන. ඒ තමයි “ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න” හඳගම අපිට කියන්නේ අන්න ඒ කතාව. ඉතින් කවුරුත් එන්නේ නැහැ. අහරන්න අපිටම තමයි වෙන්නේ අහරින්න.
-තැන්නේ ඤාණානන්ද හිමි