සයිටම් රකින්න තවත් උප්පරවැට්ටියක්


   
   මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීම සඳහා සිදුකෙරෙන අරගලය සඳහා මේ වන විට ශිෂ්‍ය ව්‍යාපාරයට අතරව සටන් කරන බලවේග ඉතා විශාල සංඛ්‍යාවක් එක්වී තිබේ.වෛද්‍ය ගුරු සහ දුම්රිය යන ක්ෂේත්‍ර වල පසුගිය 04 වන දින සංකේත වැඩවර්ජනයක්ද කැඳවා තිබුනේ සයිටම් අහෝසි කරනු යන සටන් පාඨයද ප්‍රධාන සටන් පාඨයක් බවට පත්කරගනිමිනි.මේ වන විට මේ රටේ ප්‍රගතිශීලි බලවේග සියලු දෙන එක්ව සයිටම් අහෝසි කරන ලෙස බලකරමින් අරගලයට එක්වී තිබේ.
  එහෙත් ජනතා ඉල්ලීම් ඉටුකරනවා වෙනුවට සයිටම් උපාධි කඩය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විවිධාකාරයේ නාටක රගදක්වමින් සිටියේය.එහි තවත් පියවරක් අද දිනයේ තබා ඇත. ඊයේ(05.14) දින ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය වෙත කියා සිටියේ සයිටම් ගැටලුව විසඳීම සඳහා ඉතා තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් අද දිනයේ ප්‍රකාශ කරන බවයි.එම තීරණ මේ මොහොත වන විට ප්‍රකාශයට පත්කර ඇත.
     සයිටම් ගැටලුව විසඳීම සඳහා තීරණය ගෙන ඇති බව ප්‍රකාශ කලද එම තීරණ දෙස බැලූ විට පෙනී යන්නේ ජනතාව වෙනුවෙන් එම ගැටළු විසඳනවා වෙනුවට සයිටම් ආයතනය සම්බන්දයෙන් නෙවිල් ප්‍රනාන්දු මුහුණ දී ඇති ගැටළු විසඳීම වෙනුවෙන් ගත තීරණ බවයි.වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමට යයි යෝජනා දෙකක් මුලින් ඉදිරිපත් කර ඉන් අනතුරුව සයිටම් ආයතනය සම්බන්දයෙන් එහි හිමිකරුවන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටළු සඳහා විසඳුම් මෙහි යෝජනා කර ඇත.
එම යෝජනා පහත පරිදි වේ.
~
වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා නියමිත අනිවාර්ය මූලික සුදුසුකම් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස නීතිගත කිරීම

~ මෙරට ලියාපදිංචි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපන මට්ටම, පරිපාලනය හා කළමනාකාරීත්වය පිළිබඳ නිශ්චිත තත්ත්වයක් හා ප්‍රමිතියක් පවත්වාගෙන යාම අනිවාර්යය කිරීම සහ මේ සෑම ආයතනයක් ම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් හැටියටත්, පාලක මණ්ඩලයක පාලනයට යටත් ම ක්‍රියාත්මක කරවීම මගින් ජනතා හිමිකාරීත්වය සතු ආයතන බවට ඒවා පත් කිරීම

~ වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් “සයිටම්” සිසුන් හට හෝමාගම හෝ අවිස්සාවේල්ල රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීම

~ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC)  අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට සයිටම් සිසුන් පෙනී සිටීම අනිවාර්යය කිරීම

~ “සයිටම්” ආයතනයට අදාළ රජයේ තීරණ ක්‍රියාත්මක කරන තෙක් ඒ සඳහා අලුතින් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීම

~ නවීන පහසුකම්වලින් සමන්විත “වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල” රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීම

~ රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ වරම් නොලබන සිසුන්ට මෙරටදී ම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීම හා ඒ සඳහා ප්‍රමිතිගත පදනමක් මත පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම

~ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මගින් මෙරට සිසුන් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩිකිරීම සඳහා අදාළ ආයතන වෙත උපදෙස් ලබාදීම

~රාජ්‍ය විශ්වවිද්‍යාල කෙරෙහි වැඩි අවධානයක් යොමු කර රජයේ වෛද්‍ය පීඨ සඳහා බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම හා නව වෛද්‍ය පීඨයක් ඇරඹීම

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>