රටම වෙලාගත් එකම අධ්‍යාපන අර්බුදයක විවිධ පැතිකඩ වශයෙන් අපට සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා උපාධිය මුදලට විකිණිම සම්බන්ධයෙන් උපරිම සරල වූ විග‍්‍රහයකට එලබීමට පුළුවන. එනම්,
- අධ්‍යාපන පෞද්ගලීකරණ පනත හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක කිරීමට පාලකයන් උත්සහ ගැනීම
- තාක්ෂණ විෂයධාරා පාසල් අධ්‍යාපන පද්ධතියට ඔබ්බවලාමින් මානව ශාස්ත‍්‍ර විෂයන් කප්පාදු කිරීම.
- ඒ හරහා මාවන ශාස්ත‍්‍ර සෞන්දර්ය අධ්‍යාපනය ආදී මිනිස් පරිකල්පන චින්තනය රසවින්දනය දියුණු කරන විෂයන් කෙරෙහි සමස්ථ සමාජය පුරා හීනමානීය වූ මානසිකත්වයක් වර්ධනය කරමින්, එකී තාක්ෂණ විෂයන්ට සමාජීය මූල්‍යමය වටිනාකම් ආරෝපණය කරමින්, එකී විෂයයන් හඹායෑම සදහා ජනතාවට නිදහස් තරගය විවරකරමින් ස්වකීය නරුමවාදී පාලන මතවාද රෝපණය කිරීම හා ඊට අවශ්‍ය කීකරු කුලී සේවකයන් පිරිසක් අධ්‍යාපනය තුලින් බිහිකර ගැනීමට උත්සහ කිරීම...... එම නිසා සෞන්දර්යය අධ්‍යාපනය, සෞන්දර්යය විශ්වවිද්‍යාලය වනාහි පාලකයන් ගේ සංවර්ධන සැලැස්මෙන් හැකි ඉක්මනින් මකා දැමීමට නියමිත ප‍්‍රමුඛ මර්මස්ථානයක් වී තිබීම.
යථෝක්ත කරුණු පදනම් කරගෙන විමසා බැලූවිට සෞන්දර්යයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පාඨමාලාවන් මුදලට අලෙවිකිරීම එකී ව්‍යාපෘතියේ අතිශය පළමු පියවරක් පමණි. තවත් හොද හොද සෙල්ලම් එළිවෙන ජාමයේ බලාපොරොත්තු විය යුතුය.
නමුත් මෙතෙක් පෙන්වූ සෙල්ලම් වල සුල මුල නිවැරදිව හෙළිදරව් කරගැනීම ද අතිශය වැදගත් ක‍්‍රියාවකි. මන්දයත්, අප සැමගේ ජීවිතයත් ඒ මත තීරණය වන බැවිණි. සෞන්දර්යයේ පීඨ ති‍්‍රත්වයේ විෂය පාඨමාලා වසර 20 කටත් වඩා ඉපැරණි පෞරාණික පාඨමාලා බව සංවේගයෙන් නමුත් දැනුම් දිය යුතුය.
අනෙක් විශ්වවිද්‍යාලවල විෂයන්ට සාපේකෂව අප සෞන්දර්ය විෂයයන් වල තිබෙන සුවිශේෂිත්වය වන්නේ කොතරම් පැරණිවුවත් ඒ ශාස්ත‍්‍රයන් හරහා ප‍්‍රකාශයට පත්වන සෞන්දර්යාත්මක හැගීම ත්‍රෛ කාලිකවම වින්දනය කිරීමට මිනිසාට පුළුවන් වීමය. එමනිසා කලාවේ අරමුණු සත්තාව උදෙසා ද, ජනතාව උදෙසා ද යන්නවත්, ලෝකයේ කලාවන් සහ අපේ කලා කෞෂල්‍යයන් ගේ පවතින දියුණු නොදියුණුකම් විමසීමටවත්, කලාව හරහා මිනිස් චින්තනමය වින්දනය පුළුල් සමාජ යහපැවැත්මක් වෙත ගෙනයාමටවත් අපේ සරසවියටල අපේ පාඨමාලා සාදන්නන්ටල තබා අපටවත් ඒ පිළිබද කිසිදු උවමනාවක් මතු වී නැත.
මන්දයත් මොනයම් පින්තාරුවක් සිතුවම් කලත්, කුමන ස්වරයක ගීයක් ගැයුවත්, උඩකරනම් බිමකරනම් බැරිනම් නිරුවතින් නැටුවත් ඒවා මිලදී ගැනීමට සැදි පැහැදී සිටින වෙළදපොළක් දැන් රට තුළ තිබේ.එම නිසා අප කිසිවෙකුටවත් එවැනි සෞන්දර්ය අධ්‍යාපනයක් ලබා ගැනීම වෙනුවෙන් වූ අරමුණක් අභිලාශයක් හෝ අරගලයක් නොමැත.
එමනිසා, අපේ චූන් ---->උන්ට චූන්
උන්ට චූන් නම්---->අපට වෙන මොන චූන්ද........?.......... යනුවෙන් නරුම, විනෝදබර ෆැන්ටසිමය දුමාරයකින් මිනිසත් චින්තනය කැමැත්තෙන්ම රවටාගෙන තමන් අත්පත් කරගන්නා ශාස්ත‍්‍රීය තාක්ෂණය හැකි උපරිමයෙන් මිලකල හැකි වෙළදපොලක අලෙවිකිරීමට විද්‍යාර්ථීන් වූ අප සැවොම අවස්ථා උදාවෙන තෙක් මග බලාගෙනල නෙතු අයාගෙන සිටිමු.
මෙවන් යථාර්තයකදී ධනවාදී පාලකයන් කල දුටු තැන වල ඉහගැනීමේ න්‍යායෙන් ස්වකීය ප‍්‍රාග්ධන උවමනා ඉටුකරගැනීමට අතිදක්ෂ ලෙෂ සූක්ෂම ලෙස ක‍්‍රියාකාරී වී ඇති බැව් පෙනේ. මන්දයත් ස්වකීය ශිල්ප ශාස්ත‍්‍ර මැනවින් විකුණා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය වෙළදපොල විවෘත කරදීමෙන් පසු ශිෂ්‍යයන් වුවද තවදුරටත් කලාවේ මානව සමාජයේ පසුබිම හෝ විශ්වීය කලාවේ නවමානයන් හමුවේ දේශීය කලාවේ චින්තනමය, ප‍්‍රඥාමය විභවය වර්ධනය කරගැනීමට තමන්ට ඇති අයිතිය අපේක්ෂා කරමින් හඩගා නගා සිටිනවා තබා එවැනි සමාජීය හරවත් බවක් කලාව තුල ගැබ් වී තිබේදැයි දැනගැනීමටවත් සිතාබැලීමටවත් උත්සුක වන්නේ නැත. සමාජ යතාර්ථය විනිවිද දැකිමට සමත් නොවනල කලාකරුවන් යැයි හදුන්වා ගන්නා හුදු ශිල්පීය තාක්ණය පමණක් සතත අභ්‍යාසයෙන් පුහුණු කරන ලද,මිනිසත් චින්තනය මොටකර කප්පාදුකර දැමූ වන්දිබට්ට කලාකරුවන් පිරිසක් බිහිවීම සැබවින්ම පාලක පැලැන්තියට සුවසතුට සහනය උදාකර දෙන්නකි. සෞන්දර්ය විශ්වවිද්‍යාලය වනාහි මුදාගත් ප‍්‍රදේශයක් ලෙස SB ගොයියා බිය සැක නැතිව ප‍්‍රකාශ කරන්නේද මේ හේතුව නිසාම ය.
රජමැදුරේ පා පිස්සට ආසිරි ගී පැන් ඉසිමට, රාජ මනස සංතර්පණය කරමින් රජ මැදුරේ පිනුම් ගසමින් ප‍්‍රශස්ති ගයමින් රාජ තේජස ඔප්නංවන රාජසභා නර්තකයින් බිහකිරීමට ද රාජකිය නිල් රැළිවල සේසත් ප‍්‍රතිමා ඇඹීමට ද සමත්වන දක්ෂ ශිල්පීන් පිරිසක් බිහිකරගැනීම වනාහි අද අපට ලබාදෙන්නා වු විශේෂවේදී උපාධියේ පරම පාරිශුද්ධ අරමුණයි.
එදා සරත්චන්ද්‍රයන් ගේ සමාජ හිතකාමි කලා ගවේෂණයේ ප‍්‍රතිඵලයෙන්, පේරාදෙණිය ‘‘වල’’ සංස්කෘතියෙන්, ඉන්පසුව සමාජ දේශපාලනික ආර්ථික තත්වයන්ට සාපේක්ෂව සරසවි විද්‍යාර්ථීන් ගේ අර්ථවත් දැනුම ගවේෂි ජීවිත වල ප‍්‍රතිඵල ලෙස මාගේ දේශය අවදි කරනුමැන (පේරා), වේදිකාවෙන් මහපොළොවට (ජ’පුර), ඉඩෝරබිම නිවාරන කදුරැල්ල (රුහුණු), බිහිදොර අබියස (කැළණිය) ආදී ලෙස සාහිත්‍ය කලා උළෙලවල් ලංකා පොළව තුළ බිහිවිය. නමුත් අද ඒ සියළු ප‍්‍රයත්නයන් ආත්මූඅර්ථකාමී නරුම පෞද්ගලිකත්වයක රඳවමින්ල තරු සිහින මානසිකත්වය සරසවි සිසු මනසට ඇතුළත් කරමින් ‘‘විකාතා’’ ව්‍යාපෘතිය ඔස්සේ දක්‍ෂතම රැගුම් ගැයුම් ශිල්පීන් තෝරා ගැනීමට සුදු සිල් සරමින් විලිවසා ගනිමින් පැමිණෙනල පාලක නූලට නැටවෙන පරිපාලන රූකඩ ඉතා දැඩි කැපවීමෙන් කටයුතු කරමින් සිටී.
මන්දයත්, ආශ්චර්යමත් ඊනියා සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රමුඛතම ආර්ථික සූදු වවන සංචාරක කර්මාන්තයත්, එහි ප‍්‍රමුඛතම නිධන් උල්පත් ලෙෂ නිරුවත් වෙරළ තීර, කැසිනෝ සූදුශාලා හා සමාජ ශාලා ව්‍යාපෘතිය තුළ පාලකයන්ට විකිණීමට දේශීය සංස්කෘතීන් අත්‍යවශ්‍ය වී තිබීමයි. එසේ හෙයින් නොමිලේම නිදහස් අධ්‍යාපනය තුළ එවැනි ශිල්පීන් බිහි කරවාගෙන ඔවුන්ගෙනුත් අතිදක්‍ෂයන්ට සමාජයේ තාරකා මුද්‍රාව තබමින්, ස්වකීය ඊනියා සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රාග්ධන උවමනාවන් සංතෘප්ත කර ගැනීම මෙම සමස්ත ක‍්‍රියාවලිය තුල ඔවුන් අපේක්‍ෂා කරන තවත් එක් ප‍්‍රමුඛ ප‍්‍රතිඵලයකි.
කලාව කුරහන් මූකලානට යන්නේ මේ අයුරිනි. එළි වී ඇති සෙල්ලම් මේ ආකාරයට පවතිද්දී එළිවෙන ජාමයේ එළි බැසීමට සූදානම් වන සෙල්ලම් ගැන ද මදක් සොයාබැලීම ඉතා වැදගත්ය. රුපියල් 91000 තෙක් තවත් වටයකින් මිල ඉහළ දමමින් VC පුත‍්‍ර සමාගම විසින් නර්තන, නාට්‍ය, උපාධි පාඨමාලා මුදලට විකිණීමේ ජාවාරම ද යථෝක්ත සමස්ත ක‍්‍රියාවලියේ එක් පුංචි පියවරක් වන්නේ මේ අයුරිනි. පාලකයන්ට ස්වකීය සංචාරක සූදු පොලේ දේශීය කලා ශිල්ප හැකි උපරිම මිලකට අලෙවි කරමින් ලාභ උපයා දිය හැකි දක්‍ෂ ශාස්ත‍්‍රීය ශිල්පීන් අවශ්‍ය ය. ‘‘විකාතා’’වැනි ව්‍යාපෘතීන් හරහා මෙන්ම උපාධි පාඨමාලාව තුළම බිහිවන දක්‍ෂයින් ඔවුන් ඒ භූමිකාව සඳහා යොදවා ගනී. එහෙත් වාර්ෂිකව සරසවි ප‍්‍රවේශය ලබන සෞන්දර්ය සිසුන්ට තවදුරටත් රස්සා ලබා දීම ඔවුන්ට නිසැක හිසරුදාවක් වනු නොඅනුමාන ය. එමනිසා විශාල පිරිසකට අවස්ථාව දෙමින්, පවතින කලායතනයක ස්වරූපයෙන් වුවත්, මෙම සරසවිය තවදුරටත් පවත්වාගෙන යාම පාලකයන්ට අවාසි සහගතය. උදා:- රටේ පවතින 7000 ක් පමණ වන පාසල් ප‍්‍රමාණය සුපිරි පාසල් 1000 ක් දක්වා අඩුකිරීමට සැරසෙන අධ්‍යාපන කප්පාදුවට සාපේක්‍ෂව සෞන්දර්ය ගුරු පත්වීම් ලබා දීම පාලකයන්ට ඉතාම අසුභදායී ප්‍රෝඩාකාරී කරදරයකි. (එමනිසා අපට ගුරු පත්වීමත් සිහිනයක් වනු නොඅනුමානය.) එබැවින් VC පුත‍්‍ර සමාගම හරහා මෙම උපාධි පාඨමාලා අලෙවිකරණයට අතහිත දීම තුළ සෞන්දර්ය සරසවිය පෞද්ගලිකකරණය කිරීමට අරඇදීම පාලකයන්ගේ ආදරබර බලාපොරොත්තුවකි. එමෙන්ම ඔවුන්ගේ අභිප‍්‍රාය වන මානව ශාස්ත‍්‍ර කලාවන් කප්පාදු කරමින් තාක්‍ෂණ විෂය ධාරා අධ්‍යාපනය තුළ රෝපණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට යාමේදී කෙසේ වුවත්, ඔවුන්ට සෞන්දර්ය සරසවිය අවශ්‍ය වන්නේම නැත. පාලකයන්ගේ බලාපොරොත්තුව හැකි ඉක්මනින් මෙය වසාදැමීමයි.යම් කිසි නවීකරණය කරන ලද පිටකවරයක ඔතා කළමනාකරණය, ජනමාධ්‍ය වැනි කෝකටත් තෛල විෂයන් කිහිපයකුත් ඔබා, ඉපැරිණි නැටුමම ඉපැරිණි රැගුමම අලූත් කඩයක සුපිරි මිලකට විකිණීම VC පුත‍්‍ර සමාගම හරහා සිදුකෙරෙන කර්තව්‍යයයි. ඒ අනුව සෞන්දර්ය උපාධියට හෙන ගැහුවත් අපිට මොකද, අපි නම් අපේ කඬේ ගොඩදාගන්නවා යැයි ඒකායන අරමුණක ඉඳිමින්, තිබෙන මහා බඩ තවත් වඩා ගැනීමට VC පුත‍්‍ර සමාගම නොනැවතී ඉදිරියටම යයි.
සියළු කාරණා එසේ තිබිය දී අපට අවධාරණය කර ගැනීමට එකම එක අරමුණක් ඉතිරි වී තිබේ.............
එනම්, කලාව කුමකට ද ? බල්ලාට පමණද ? ආගම්වාදී ජාතිවාදී, වර්ගවාදයන් පෝෂණය කරමින් කා කොටා ගැනීම් වෙත මිනිසුන්ව යොමු කරමින්, ස්වකීය බලය තහවුරුකර ගන්නා නරුමවාදී පාලකයන්ගේ අවශ්‍යතා සංතෘප්ත කිරීමට ද, ඔවුන්ගේ සූදු වෙළඳපොළ් හැකිතරම් උපරිම මිලකට වෙන්දේසි කිරීමටද ? මිනිස් මූලාරම්භයේදී මිනිසා විසින් උපත දුන් කලාව, වන්දිබට්ට කලාවක් ලෙස නරුම පාලකයන්ට සේවය කිරීම නතර කොට සමස්ත මානව වාර්ගික සත්තාව වෙනුවෙන්, ඔවුන්ගේ දුක්බර ජීවිත වලින් මිනිසාව විමුක්ත කිරීම උදෙසා ජනතාවාදී කලාවක් බිහිවන්නේ කවදාද ? එම කලාව බිහිකරන්නේ කවුද ? මගේ මේ කලා ජීවිතයේ අරමුණ කුමක්ද ?
මේ දිග හැරුනේ අප සැවොම ජීවත්වන මුළු මහත් පීඩිත මිනිස් සමාජයක් විසින් මාගේ හෘද සාක්‍ෂියෙන් ආයාචනාත්මකව ඉල්ලා විලාපදෙන යුගයේ කාර්යභාරයයි...!