පුතේ උඹ දන්නවද..............









පුතේ උඹ දන්නවද
එරබදු ගහේ මල්
රතු පාට ඇයි කියල
කොවුලන් ගයන ගී
කාටද කියල

එකෝමත් එක කාලෙක
නෙමෙයි ඒ 71
රජ කුමරුවන් හෙම නෙමෙයි
උන් ගමේ කොල්ලො ටික
චේ ගු ආ කාරයෝ
ඒ උන්ගෙ නම්බුව
ආණ්ඩුවෙ ඉස්කෝලෙන්
අකුරු ටික ඇහිදගත්තු
අප්පච්චිල වගේ
වළව්වට කඹුරන්න
බෑ කිව්ව උන්
පන්සලේ පොඩි නමත්
එක්කලා කසු කුසුව
රතු පාට පොත් නිතර
එහෙ මෙහේ මාරු වෙන
වැහි කෝඩෙ ආව හැටියට
අපි හිතුව වහින බව
ඒත් උන් කිව්වෙ නෑ
දැන් මොකක් වෙන්න යන
ගහ පුරා මල් කැකුළු
වසන්තෙට ඉගි මැරුව
සුවද මකරන්ද
ඉව කරණ සමනළකෝෂ
අළුත් උපතක් පතා
සැරසිලා මග බැලුව
බක් මහේ අකුණකින්
කරටියම කැබලි වී
මහ දවල් රෑ වුණා
ඇස් නිලන්කාරව
අපි ඔහේ බලන් උන්න
මහ දවල් දිවි පුරා
අපි නිදන් ඉන්නැද්දි
පුතේ උන් අරුණටත්
කලියෙන් ඇහැරුණා
වෙනසක සිහිනයෙන්
ඒ දෑස් දැල්වුණා
පැතූ ලොව අභියසදි
අමු සොහොන ඉදිවුණා
නව ලොවක් පැතු වරදට
අනේ උන් වැළලුවා
වඩා යහපත් ලොවක
අධිටනක් සිත දැරුව
උන් වතින් ගලා ගිය
රුධිරයෙන් එරබදු මල්
රතු පැහැය ගැන්වුණා
එදා ඉදන් කොවුලන්
ගී ගයනව බක් මහට
71 පණිවිඩය
තමයි ඔය කියන්නේ
ඒ ගීය උඹලටයි
උන්ට වැරදුණු තැන් හදාගෙන
පුතේ උඹ දන්නවද
නව ලොවක් හෙට දවසෙ
ගොඩනගන්නේ උඹලයි.............

( රිවිහාර පින්නදුව )

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>