'ශාස්ත්‍රාලීය නිදහස හා විශ්වවිද්‍යලයේ ස්වාධීනත්වය'

මේ විරෝධතාවයට හේතුව වූයේ, ඉතිහාසය දෙපාර්තුමේන්තුව තුළ ඇති දේශක පුරප්පාඩු පිරවීම සඳහා මාස තුනකට වඩා කාලයක් දිගින් දිගටම පරිපාලනය මග හැරීමයි. අධ්‍යනාංශයේ පවතින දේශන පැවැත්වීම සඳහා වූ හිඟ කතිකාචාර්යවරුන් ඇතුලත්කර ගැණීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඊට සුදුසු දෙදෙනෙකු තෝරා පරිපාලනයේ අනුමැතිය ලබා ගැණීමට ඉදිරිපත් කළත් ඒ සඳහා වූ අනුමැතිය දිගින් දිගටම නොලැබිණ. මෙවැනි වාතාවරණයක් තුළ දෙපාර්තුමේන්තුවේ අධ්‍යයන කටයුතු බිඳ වැටුන අතර මේ වන විට සිව්වන වසර සඳහා වූ "නැගෙනහිර ආසියාවේ ඉතිහාසය"(4190) හා "රාජ්‍ය, හමුදාව, විරෝධතා සහ විප්ලව"(4185) යන පාඨමාලා ඒකක දෙකෙහි දේශන සති තුනක් තිස්සේ නොපැවැත්වේ.
ඇති වී ඇති අයහපත් තත්වය සම්බන්දව නිර්මාල් රංජිත් දේවසිරි, ශාස්ත්‍ර පීඨ පීඨාදිපතිවරයා දැනුවත් කළ ද ඉන් පළක් නොවුනි. පසුව සිව්වන වසර විද්‍යාර්ථීන් ලෙස අප විසින් වාචිකව පීඨාදිපතිවරයා දැනුවත් කළ ද එවිටත් ඉහල පරිපාලනයේ ගැටළු පවතිනවායැයි පවසමින් ගැටළුවට විසඳුම් ගෙන එනවා වෙනුවට ගැටළුව මගහැරීය. දිගින් දිගටම සිදු වූ මේ වතාවරණයට පිළිතුරක් නොවන කල්හි ඊට පිළියම් සෙවීමට නිර්මාල් තෝරා ගත්තේ විද්‍යාල මන්දිරයේ ලේඛකාධිකාරිගේ හා උපකුලපතිගේ කාර්යාල කාමරයට ගොස් ඉල්ලීම සඳහා සෘජු පිළිතුරක් ලැබෙන තුරු විරෝධය පෑමයි.
දිනයේ දහවල වන විට අංශාධිපති නොමැතිව ඉතිහාසය දෙපාර්තුමේන්තුවේ අධ්‍යයන කටයුතු පවත්වාගන යාමට නොහැකි බව පවසමින්, තාවකාලිකව දේශන කටයුතු නැවැත්වූ බවට සහතික කරමින් එම දෙපාර්තුමේන්තුවේ අචාර්යවරු, ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති හට ලිඛිතව දන්නවා තිබුණි. ඒ අනුව, අද දවසට සිව්වන වසර සඳහා වූ දේශන ද පැවැත්වූයේ නැත.
සවස් යාමය වන විටත් උපකුලපතිගෙන් මේ විරෝධතාවයට කිසිදු හෝ පිළිතුරක් නොලැබුණත් නියෝජ්‍ය උපකුලපති හා ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිගේ මැදිහත් වීමෙන් ලබන බදාදා (මැයි28) වන විට පීඨයක් වශයෙන් වගකීම ගෙන ගැටළුව විසඳනවායැයි වූ පොරොන්දුව මත සවස 6 වන විට නිර්මාල් රංජිත්, සිය තම විරෝධය තාවකාලිකව නැවැත්තුවේය. ඉදිරි දිනයන්ගේ මේ සඳහා සාධනීය පිළිතුරක් බලාපොරොත්තුවෙන් සියල්ලන් විසිර යන්නට විය.
සියල්ල මෙසේ තාවකාලිකව අවසන් වූවත් නවමු තත්වයක් මේ සිදුවීම් අතර ගැබ් වී තිබුණි. එනම්, සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත් වූවන් බඳවා ගැණීම ප්‍රමාද කිරීමට හේතුව ලෙස උපකුලපති ඇතුළු පරිපාලනය දක්වා ඇත්තේ, ඔහුන් දෙදෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව(සී.අයි.ඩී) විසින් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එය අවසන් වන තුරු අනුමැතිය ලබා දීමට නොහැකි බවත්ය. ආචාර්යවරු ඒ පිළිබඳව ලිඛිතව දන්වා සිටින්නට යැයි කී විට පරිපාලනය විසින් එය මග හැර තිබේ. වඩා බැරෑරුම්ම කාරනය වන්නේ මෙයය.
දෙපාර්තුමේන්තුවක අධ්‍යයන කටයුතු සඳහා බඳවා ගන්නන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පරීක්ෂණ පවත්වන්නට අවසර දුන්නේ කවුද? ඒ කුමන කාරණාවක් යටතේද? අනෙක් අධ්‍යයන අංශ සඳහා මේ වන විටත් නව බඳවා ගැණීම් කර තිබුණත් ඔහුන් පිළිබඳ එවැනි වූ පරීක්ෂණ නොපවත්වන්නේ මන්ද? මේ සඳහා කටයුතු කරන්නේ කුමන පදනමක් යටතේද? යන්න මතුවන හා මතු කළ හැකි ප්‍රශ්නයන්ය.
විශ්වවිද්‍යාලයන් තුළ සිදුවන සෑම කරුණක් සම්බන්ධයෙන්ම කටයුතු කරද්දී ඒ සඳහා මූලධර්මයන් දෙකක් ප්‍රධාන වශයෙන් භාවිත කරනු ලබයි. ඒ
01. විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වය
02. ශාස්ත්‍රාලීය නිදහස
යන දෙ-අංශයය. කුමන හෝ අයුරකින් මේ මූලධර්මයන් අමු අමුවේ උල්ලංගනය කර ඇත. එසේ උල්ලංගනය වන්නට පරිපාලනය ඉඩ දී තිබේ. සමහර විට මෙවැනි පරීක්ෂණයක් පවත්වන්නේ ජාතික ආරක්ෂාව සඳහා යැයි ආරක්ෂක අමාත්‍යාංශ පවසන්නට පුලුවන. එසේත් නැති නම් මෙය අභූත චෝදනාවක් ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය අපහසුවට පත් කිරීමට ගොතන ලද කතාවක් බවත් පැවසීමට ඉඩ ඇත. කෙසේ වුවද එවැනි වූ ප්‍රකාශයක්(අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පත්වනු ලබන පරීක්ෂණය පිළිබඳ) දැන් පරිපාලනයේ කටින්ම පිට වී තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ, දෙවන, තෙවන හා ප්‍රථම වසර අධ්‍යයන කටයුතු මේ වන විට නවතා දමා තිබෙන්නේ මාස දෙකක සිටය. ඒ නේවාසිකාගාර සම්බන්ධයෙන් හා සුබසාධන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් සිසුන් ඇති කළ විරෝධතාවක් හේතුකොටගනය. මේ විරෝධතා ව්‍යාපාරයන්ට සහභාගි වී ඇති සිසුන්ගේ නිවෙස් වලට පොලිස් නිලධාරීන් යවා ඔහුන් බිය වද්දමින් තිබේ. එමෙන් ම එක් ශිෂ්‍යයෙක් අදාල වසමේ පොලීසියට කැඳවා බලහත්කාරය යොදවා ලිපියකට අත්සන ගන්නට උත්සහ දරා ඇත. ඒ ලිපියේ සඳහන් වී ඇති අන්තර්ගතය වී ඇත්තේ, 'නිවසින් පිට, සරසවිය අසල කුමන හෝ ආකාරයකින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂනයකට සම්බන්ධව කටයුතු නොකරන්නේ යැයි.....' ආදී අදහසක්ය. සමහර සිසුන්ගේ දුරකථන අංකයන්ට නිර්ණාමික ඇමතුන් ලබා දෙමින් ඔහුන් බිය වද්දන්නේය. මේ පිළිබඳව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති හා ජේශ්ඨ ශිෂ්‍ය අනුශාසක දැනුවත් කරද්දී ඔහුන් කියා සිටියේ, පරිපාලනය එවැනි කාරනා හා සම්බන්ධයක් නොවන බවකි. නමුත්, සහය කථිකාචාර්යවරුන් බඳවා ගැණීමේ දී ඔහුන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පරීක්ෂණ පවත්වන්නට ඉඩ දීම යන සිදුවීම හා අන් සිදුවීමද ගැලපෙන බව පෙනේ. ඒ අනුව ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දෙන්නේ පරිපාලනයම විය හැකි බව පෙනී යයි. එය එක් අතකින් සරසවියේ ස්වාධීනත්වයට හා ශාස්ත්‍රාලීය නිදහසට එල්ල කරන ලද මරු පහරක් ද වේ.
සියල්ල එසේ සිදු වෙද්දී අපූරු වැඩපිළිවෙලකට ලහි ලහියේ පරිපාලනය සූදානම් වන බවට අද සන්ධ්‍යා යාමේ ඉඟි පළ වන්නට විය. ඒ මේ වනවිට විරෝධතා ව්‍යාපාරයන්ගේ යෙදුනා යැයි පවසමින් තාවකාලිකව පන්ති තහනමට ලක් වූ ශාස්ත්‍ර පිඨ, නීති පීඨ හා අධ්‍යාපන පිඨයේ සිසුන් 20දෙනාට විනය පරීක්ෂණ කඩිනම් කිරීමයි. ඒ බව දුරකථන ඇමතුම් වලින් අදාල ශිෂ්‍යයන් හට පවසා තිබේ. මේ වන විටත් මාස දෙකකට වඩා වැඩි කාලයක් මේ පන්ති තහනම ක්‍රියාත්මක කළේ කිසිඳු වග විභාගයකින් තොරවය. හරියාකාරව නම් දින 14ක් යන්නට මත්තෙන් ඔහුනට එරෙහිව ඇති චෝදනා ලබා දිය යුතුව ඇත. ඒ ලිඛිතවය. නමුත් හිටි හැටියේම පරිපාලනය දුරකථනයෙන් කතා කොට ඉදිරි දින වල විමර්ශන කටයුතු කරන බව පවසා තිබේ. එය, ආයතනික ක්‍රියා පටිපාටියට පිටින් යන්නකි. අනෙක් අතට නීත්‍යානුකූලද නොවේ.
කොළඹ සරසවියේ තත්වය මෙසේය. අන් සරසවි වල තත්වය ද මීට නොදෙවෙනි, නොවෙනස් යයි පැවසීමට අවශ්‍ය නොවේ. බැලු බැලු අත මෙවැනිම වූ ඛෙදයන්ය. උසස් අධ්‍යාපනය පමණක් නොව සමස්ත අධ්‍යාපන ක්‍රමයේත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් පොදු ප්‍රවහාන පද්ධතියේත් ඇත්තේද අවුල් ජාලාවකි. තත්වයන් තේරුම් ගන්නේ ඒ ඒ අවස්ථාවනට අනුව නිසා දැන් දැන් සාමාන්‍ය දෙයක් බවට 'අවුල්' පත් වී ඇත.අවසන් වශයෙන් උපකුලපති කුමාර හිරඹුරේගම අපෙන් විමසූ යමක් නැවතත් පවසනු කැමැත්තෙමි.
' මී හරක් සියයද වටින්නෙ..? ආර්ට්ස් ඩිග්‍රි සියයද වටින්නෙ...?'
අවුලේ සාමාන්‍ය බව විසඳා ගැණීම ඔබට බාරය...
උපුටා ගැනීම- නින්දිත වැරදිකරු facebook පිටුවෙන්