නව මුහුනුවරකින් ගෙන ආ කැලණිය සරසවියේ ශිෂ්‍ය මර්ධනය

කැලණිය විශ්වවිද්‍යාලය තුළ දැඩි අර්බුධකාරී වටපිටාවක් නිර්මාණය වී ඇත. පසුගිය පෙබරවාරී මස වන විට පරිපාලනය විසින් නේවාසිකාගාර අර්බුදයක් නිර්මාණය කර තිබිණි. එහිදී නේවාසිකාගාර අහිමි වූ ශිෂ්‍යාවන් ශිෂ්‍ය මධ්‍යස්ථානය නේවාසිකාගාරයක් බවට පත් කර ගෙන සිටියේය. මෙම සටන තුළින් නේවාසිකාගාරයක් දිනා ගැනීමට හැකි වීම සතුටට කරුණකි. එසේ වුවත් මේ මොහොත වන විට එම සටනට නායකත්වය දුන් ශිෂ්‍ය ක‍්‍රියාකාරිනියන් තිදෙනෙකුට විනය පරීක්ෂණ කැඳවා තිබෙන අතර මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්වරිය වන ශ්‍යාමලී ලියන ආරච්චි සහෝදරියට විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් කොට ඇත.
මෙම මොහොත අප හඳුන්වන්නේ නව මුහුණුවරකින් ශිෂ්‍ය මර්දනය යළි දියත් කිරීමට  ගන්නා උත්සාහයයි. මෙම ශිෂ්‍යාවන්ට එල්ල කරන චෝදනා වන්නේ නේවාසිකාගාර තුළ රැස්වීම් පැවැත්වීම, ශිෂ්‍ය ගැටලූ සම්බන්ධව පෙනී සිටීම, ශිෂ්‍ය අරගලවලට නායකත්වය දීම, ශිෂ්‍යාවන්ගේ නිදහස සම්බන්ධව ප‍්‍රශ්න කිරීම ආදියයි. මෙම තත්වය තුළ නේවාසිකාගාරවල එක් කාමරයක සිටින ශිෂ්‍යාවන්ට අනෙක් කාමරයේ සිටින ශිෂ්‍යාවන් සමඟ කතාබහ කිරීම පවා තහනම් කොට ඇත. රාත‍්‍රියේ නවයෙන් පසු නාන කාමර භාවිත කිරීම තහනම් කොට ඇත. එසේම නේවාසිකාගාරය තුළ විදුලි බල්බ රාත‍්‍රි නවයෙන් පසු නිවා දමන අතර ඒවා යළි භාවිතා කිරීමට අවශ්‍ය නම් නේවාසිකාගාර පාලකවරියගේ අවසරය ලබා ගත යුතුය. මෙම තත්වය මානුෂීය අයිතීන් පවා උල්ලංඝණය කරන අතර සාමූහික අඩන්තේට්ටම් කිරීමක් හා සමානව ගැනිය හැකිය. රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවා භාෂණයේ නිදහස, සිතීමේ නිදහස, අදහස් පල කිරීමේ නිදහස හා රැස්වීමේ නිදහස පිළිබඳ සඳහන් කොට ඇත. එසේ බලන කල මෙම ශිෂ්‍යාවන් ඉලක්ක කර ගනිමින් ගෙන යන මෙම මර්දනීය වැඩපිළිවෙළ මූලික මානව අයිතිවාසිකම් පවා උල්ලංඝණය කරන්නකි. පාලකයන්ට සාමූහික භීතිය ජනිත කිරීමේ වැඩපිළිවෙළක නිරත වෙමින් සිටින බව මේ සියල්ලෙන් මනාව පැහැදිලි වේ.

පසුගිය 08 වැනි දින වාණිජ හා කළමනාකරණ පීඨයේ මූල්‍ය ගණකාධිකරණ අධ්‍යයන අංශයේ දෙවන වසර ශිෂ්‍යයන්ට තමන්ගේ දෙමව්පියන් විශ්වවිද්‍යාලයට රැගෙන එන ලෙස එම අධ්‍යයන අංශයෙන් දන්වා තිබේ. මෙහිදී දෙමාපියන් තිස් දෙනෙක් පමණ සහභාගී වී සිටියේය. මෙහිදී සාකච්ඡ කර තිබෙන්නේ දැනට ලබා දෙන අධ්‍යාපනයේ ප‍්‍රමිතිය සම්බන්ධවයි. ලෝකයේ පළමු වතාවට දෙමව්පියන්ගෙන් විමසා අධ්‍යාපන විෂය නිර්දේශ සකස් කිරීමට ගන්නා පළමු උත්සාහය මෙය වන්නට ඇත. අධ්‍යාපනවේදීන්, අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් රටේ  කොතෙකුත් සිටියදී දෙමාපියන්ගෙන් කරුණු විමසීම ගැටලූ සහගතය. මෙහිදී  සාකච්ඡ කර තිබෙන අනෙක් කාරණාව වන්නේ ශිෂ්‍යයන්ගේ බාහිර ක‍්‍රියාකාරීත්වයන් සම්බන්ධවයි. මේ වනාහි අන් කිසිවක් නොව ශිෂ්‍යයන් තම අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සහ අරගල කිරීම ඉලක්ක කර ගත් මර්දනීය වැඩපිළිවෙළේ තවත් කොටසකි. මේ වන තෙක් ශිෂ්‍යයන් බිය ගැන්වූයේ බුද්ධි අංශයේ, පොලිසියේ, හමුදාවේ මහත්වරුන් පමණි. ඔවුන් ආයුධ සන්නද්ධව පැමිණ තර්ජනය කළ අතර ආචාර්යවරු දැන හෝ නොදැන එම මර්දනයම  ඔවුන්ට හිමි සිවිල් බලය භාවිත කරමින් ශිෂ්‍ය මර්දනය උදෙසා ක‍්‍රියාවට නංවමින් සිටියි. මර්දනයේ නව මුහුණුවරෙහි ආරම්භය මෙය නම් පාලකයෝ, මීට වඩා දැඩි මර්දනීය ක‍්‍රියාවලියකට අත ගසා තිබෙනවා නොඅනුමානය. 

ශිෂ්‍යයෝ අරගල කරන්නේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීම වෙනුවෙනි. පාලකයෝ ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවන් වෙනුවෙන් අධ්‍යාපනය විකිණීම හා කප්පාදුව කරගෙන යන අතරම පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කර ඇත. මෙම මොහොත රටේ කම්කරු, ගොවි, ධීවර වැඩකරන මිනිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවය වෙනුවෙන් කරන දැවැන්ත අරගලයක් බවට පත් වී ඇත. මේ සඳහා ශිෂ්‍යයන් ලෙස පමණක් අරගල කිරීමෙන් ජයග‍්‍රහනය කළ නොහැක. මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු, කම්කරුවන්,
ගොවියන්, ධීවරයන් ඒකාබද්ධ විය යුතුය. නමුත් පසුගිය කාලය තුළ එම වෑයම විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස දක්වා තිබෙන දායකත්වය ප‍්‍රමාණවත්දැයි ප‍්‍රශ්නයක් මතු වී තිබේ. ශිෂ්‍ය මර්දනය ක‍්‍රියාත්මක කිරීමට සමහර ආචාර්යවරු ඍජුවම මැදිහත් වන අතර මීට ශිෂ්‍යයන් තුළ ඇත්තේ දැඩි අප‍්‍රසාදයකි. කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනයේ නව මුහුණුවර ක‍්‍රියාවට නැංවීමට ආචාර්යවරුන්ගේ දායකත්වය නේවාසිකාගාරය තුළදීත් දේශන ශාලාවලදීත් දැක ගත හැකි විය. නමුත් මේ සම්බන්ධව සියලූම ආචාර්යවරුන්ට අප චෝදනා නඟන්නේ නැත. එසේ නමුත් මෙම තත්වය නවතා දැමීම සඳහා ආචාර්යවරු ලෙස ඔබ යම් දායකත්වයක් ලබා දෙන ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>