මැයි 17 කොළඹදී දැවැන්ත පාගමනක්


අධ්‍යාපනය යනු සමාජයක යහපත් පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. අධ්‍යාපනයේ  මිනිසුන් දහස් ගණනක් සොයාගත් දැනුම අත්දැකීම් අන්තර්ගතය. මේ හේතුවෙන් අධ්‍යාපනය යනු සමස්ත සමාජයක අයිතියකි. ඒ සඳහා මුදල්මය අගයක් නියම කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැත. අධ්‍යාපනය ලබාගැනීම සඳහා ජාතිය ආගම කුලය ආර්ථික හැකියාව යනාදී කිසිවක් බාධාවක් නොවිය යුතුය. ඉහත සාධක හරහා අධ්‍යාපනය ලබාගැනීම සඳහා බලපෑමක් එල්ල වුවහොත් එය සමස්ත සමාජයටම බරපතල ප‍්‍රශ්නයක් වනු ඇත.
   මෙවැනි තත්වයක් තුල වුවද අධ්‍යාපනය සෞඛ්‍යය විකිණීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය බවට පත්වී ඇත. මාලඹේ සයිටම් යනු එහි නියමු ව්‍යාපෘතියයි.මෙය කොතරම්ක් වංචනික දුෂිත ආයතනයක් වුවද පාලකයන් කිසිදු කොන්දේසියකින් තොරව තම සියලූ හැකියාවන් මෙම ආයතන රැක ගැනීම සඳහා යොදවමින් සිටි. සයිටම් රැකගැනීම හරහා සිදු කිරීමට නියමිතව ඇත්තේ අධ්‍යාපනය විකිණීම සඳහා අවශ්‍ය ඉඩකඩ විවර කරගැනීමය. ඒ හරහා තම අධ්‍යාපනය විකිණීමේ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගැනීමය. නමුත් ඒ හරහා දහස් ගණනකගේ අධ්‍යාපන අයිතිය අහෝසි වීම නොසලකමින් ආණ්ඩුව කටයුතු කරමින් සිටි.
          මේ වන විට වසරකට 150 000ක පමණ සිසුන් ප‍්‍රමාණයක් උසස් පෙළ සමත් වන අතර ඉන් විශ්වවිද්‍යාල සඳහා බඳවාගනු ලබන්නේ 25 000කට  ආසන්න ප‍්‍රමාණයකි.නමුත් 2017 වර්ෂයට අදාලව තවමත් විශ්වවිද්‍යාල තුල පුරප්පාඩු 1500කට අධික සංඛ්‍යාවක් පවතී.සරසවි බඳවාගැනීම් ඉහල දමන බවට පාරම්බාන ආණ්ඩුව බඳවා ගතහැකි සිසුන් සංඛ්‍යාවවත් බඳවා ගන්නේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොව එම සිසුන් ප‍්‍රමාණයද පුද්ගලික විශ්වවිද්‍යාල වෙත අද්දවා ගැනීමටය.
              පාසල් තුලින් මුදල් අය කිරීමට නිත්‍යානුකුලව අවසර ලබා දීමද පුද්ගලීකරණ ව්‍යාපෘතියේම තවත් එක කොටසකි. බදු ලෙස තම දරුවාගේ අධ්‍යාපනය සඳහා බදු ගෙවන දෙමවුපියන්ට උපකාරක පන්ති සහ පාසලට ගාස්තු ලෙසද මුදල් ගෙවන්නට සිදුවී ඇත. පාසලේ සම්පුර්ණ නඩත්තු කටයුතු දෙමවුපියන් හරහා කරවාගැනීමට කටයුතු කරමින් සිටි. මෙය ඉතා බරපතල ගැටළුවක් බවට පත්ව ඇත. පාසල් අධ්‍යාපනය සඳහා වියදම් දරාගැනීමට නොහැකිව මාතර ප‍්‍රදේශයේ මවක් නිල්වලා ගගට පැනීම වැනි සිද්දීන් ඉතා විශාල වශයෙන් ඉදිරියේදී අපට අසන්නට දකින්නට ලැබීම වලක්වාගත නොහැකි තත්වයක් බවට පත්වනු නියතය.
                     අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ නියමු ව්‍යාපෘතිය බවට පත්වී තිබෙන සයිටම් උපාධි කඩය අහෝසි කිරීමේ අරගලය මේ වන විට ඉතා තීරණාත්මක මොහොතකට එළඹ ඇත. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව විසින් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග‍්‍රහ මේ වන විට දින 500 ට ආසන්න වී ඇත. එමෙන්ම මෙරට සියලූ වෛද්‍ය පීඨවල සිසුන් ගැටලූව විසඳන ලෙස බලකරමින් ආරම්භ කල පන්ති වර්ජනය මේ වන විට දින 100 ඉක්මවා ඇත. එහෙත් ආණ්ඩුව ව්‍යාජ විසඳුම් ඉදිරිපත් කරමින් විවිධාකාරයේ කුමන්ත‍්‍රණ කරමින් සයිටම් උපාධි කඩය රැකගැනීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත් වෙමින් සිටි.
          ඒ අනුව මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටළු විසඳීමට, සෞඛ්‍යය ක්ෂේත‍්‍රයේ නිර්මාණය වී ඇති ගැටළු විසඳීමට, විශ‍්‍රාම වැටුප් කප්පාදුව ඇතුළු කම්කරු අයිතීන් කොල්ලකෑම නැවතීමට සහ රාජ්‍ය ආයතන විකිණීම නවතන ලෙස ආණ්ඩුවට බලකරමින් 2017.05.17 දින අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර ඇත. 


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>