ජානක- සිසිත ඝාතනය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු වූ කැළණීය සරසවියේ ජනක බණ්ඩාර සහ රුහුණ සරසවියේ සිසිත ප‍්‍රියංකර යන සහෝදරවරුන් දෙදෙනා 2010-09-27 දින ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදී අභිරහස් ලෙස මිය යන ලදී. හදිසි අනතුරක් ලෙස පොලිසිය විසින් ප‍්‍රකාශ කළද එය එසේ නොවන බවත්, එය ඝාතනයක් බවත් බොහෝ දෙනාගේ අදහස විය. මෙය හේතු සහගත සහ ඇතැම් සාක්ෂි සහිත සැකයක් විය. මෙම සිදුවීම දැවැන්ත අරගලයක් අතරතුර සිදුවීම එම සැකය තව තවත් තහවුරු කිරීමට හේතු විය.
මෙම මරණයන්, ඝාතනයන් ලෙස සැක කරන නිසා ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ මේ වනවිටත් නඩුවක් විභාග වෙමින් තිබේ. නමුත් සැක කටයුතු තැන් බොහෝ තිබියදී, පොලීසිය හේතු සාධක රහිතව මෙය හුදු රිය අනතුරක්ම බව පුන පුනා ප‍්‍රකාශ කරමින් සිටියි.
පසුගිය සමයේ ආණ්ඩුවට එරෙහි දේශපාලන කි‍්‍රයාකාරීත්වයක සිටි පුද්ගලයන් මෙන්ම ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ පුද්ගලික එදිරිවාදිකම් වලදීද මෙසේ පුද්ගල ඝාතන සිදුවූ බව ප‍්‍රසිද්ධ කරුණකි. කලින් හදිසි අනතුරක් බව පොලීසිය පුන පුනා ප‍්‍රකාශ කළ, මේ වන විට ඝාතනයක් ලෙස සලකා පරීක්ෂණ ආරම්භ කර ඇති රගර් කී‍්‍රඩක තාජුඞීන් මහතාගේ ඝාතන සිදුවීම මෙයට උදාහරණයක් ලෙස දැක්විය හැකිය.
එබැවින් ජනක-සිසිත ඝාතන සිදුවීමද කාලය මඟින් යට ගැසීමට ඉඩ නොදී ඔවුන්ගේ ඝාතන වලට සාධාරණයක් ඉෂ්ඨ කළ යුතුය. එම ඝාතකයන් හෙළිදරව් කරගත යුතුය. ඒ සඳහා පොලීසියේ මැදිහත්වීම කිසිසේත්ම පිළිගත නොහැකි මට්ටමක හා සැකකටයුතු අකාරයකින් පවතින බැවින්   මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමින් අද(අගෝස්තු 24) සවස 03 ට, කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබේ.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>