යාපනය විශ්වවිද්‍යාලය තුල සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අවිශිබම යේ ස්ථාවරයට ඇතමෙකුගේ විවේචනයන් එල්ලවී ඇත. ඒ බහුතර විවේචනයන්හි පදනම බවට පත්වී ඇත්තේ නිදහස් අධ්‍යාපනයට අදාල අරගලය තුල අප පෙන්වන ජවයෙන් මෙම ගැටුමට මැදිහත් නොවීමත් මෙහි එක් පාර්ශවයක් වෙනුවෙන් සෘජුව පෙනී සිටිමින් අනෙක් පාර්ශවයට එරෙහි නොවීමත්ය. මෙහිදී අප මුල සිටම මෙම පහරදීම කිසිම අයුරකින් අනුමත නොකළ අතර එම කි‍්‍රයාව හෙළා දකින්නෙමු. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල තුල විවිධ ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් හා පහරදීම් ඇති නොවෙනවා නොවේ. ඒවාට අවිශිබමය මැදිහත්වෙන අතර ඒ එම ගැටලූ වලට පදනම් වූ හේතු සොයා බලා එම පාර්ශවයන් අතර සුහදතාවය ඇතිකොට නැවත එවැනි ගැටුමක් ඇති නොවීමට අවශ්‍යය තත්වයන් ඇති කිරීමටය. එක් ශිෂ්‍ය කණ්ඩායමකට විරුද්ධව උද්ඝෝෂණික තලයේ කි‍්‍රයමාර්ග තෝරමින් අප කිසිදු විටක එවැනි ගැටුම් වලට මැදිහත් වී නොමැති අතර එමගින් සිදුවන්නේ එම ගැටුම් තව දුරටත් වර්ධනය වීම බව අපි දනිමු. මෙම ගැටලූවට අදාලවද එලෙසින් මැදිහත්වී එම ගැටුම සමථයකට පත්කිරීමට අපි උත්සහ දරන්නෙමු. නමුත් මෙහිදී විශේෂිත තත්වයක් ලෙස මෙම ගැටුම යම් යම් පිරිස් තම දේශපාලන බලව්‍යාපෘතීන් තුල කළමණාකරනය කිරීමට උත්සහ ගනිමින් තිබේ. යාපනයේ සිසුන් අතර පවත්නා සැකය, අවිශ්වාසය දුරුකර මෙම ගැටුම සමථයකට පත්කිරීමට උත්සහ දරණ අතරම මතුවී ඇති අවස්ථාවාදී දේශපාලන උපායන්ද පරාජය කිරීමට අපට සිදුව ඇත.
මෙහිදී දෙමළ සිසුන් සිංහල සිසුන්ට පහරදී ඇත යන්න උලූප්පමින් දකුණේ සිංහල ජනයා අතර ජාතිවාදී ප‍්‍රවණතාවන් ඇති කිරීමට ඔවුන් උත්සහ දරමින් සිටී. එම ගැටුම තුල ජාතිවාදය කි‍්‍රයාත්මකවූ බව අපි ප‍්‍රතික්ෂේප නොකරමු නමුත් සිංහල සිසුන් කෙරෙහි හදිසියේ පහලවූ දයාවකින් කටයුතු කරණ මෙම ඇතැම් පිරිස්වල අරමුණ අප පැහැදිලි කරගත යුතුය. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන්ම වත්මන් පාලකයන් යටතේද විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් දිගින් දිගටම ආරක්ෂක අංශවල පහරදීම් වලට ලක්විය. එම පාහරදීම් වලට ගොදුරුවූ සාතිශය බහුතරයක් සිංහල වාර්ගිකත්වයට අයත් සහෝදර සහෝදරියන්ය. ජානක, සිසිත සහෝදරවරුන් කෲර ලෙස ඝාතනයටද ලක්විය. ඒ කිසිම විටක මේ පිරිස් මෙලෙස සංවේදීවනවා හෝ ඒවාට විරුද්ධවනවා අපි නොදැක්කෙමු. ඒ වෙනුවට ඇතමෙකු එම පහරදීම් සාධාරණීකරණය කරමින් ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින ලදී. එබැවින් මේ එම යාපනය විශ්වවිද්‍යාලයේදී පීඩාවට පත්වූ සහෝදර සහෝදරියන් කෙරෙහිවූ මානුෂීය කම්පනයකින් පැන නගින විරෝධයක් නොව අවස්ථාවදී දේශපානව උවමනාවක් බව අප වටහාගත යුතුය. දැන් උතුරේ ජාතිවාදී දේශපාලන නායකයන් දකුණේ විශ්වවිද්‍යාලයක තමිල් සිසුන්ට සිංහල සිසුන් පහරදෙන තුරු මහත් ආස්වාදයෙන් බලා සිටිනවාට සැක නැත. මේ වන විට අධ්‍යාපනයට අදාලව මෙන්ම අනෙකුත් සෑම ක්ෂේත‍්‍රයකට අදාලවම ගැටළු මතුවෙමින් ඇති අතර මිනිසුන් ඒවාට එරෙහිව අවදිවෙමින් සිටී. එවැනි වටපිටාවක ඒ සියළු අර්බුදයන් අවධානයෙන් බැහැර කරන්නට ජාතිවාදය පාලකයින්ට කදිම තුරුම්පුවකි.
හෙට දවසේ යාපනය විශ්වවිද්‍යාලයේ එම සිසුන් සියළු දෙනාම ඊනියා ජාති ආගම් භේද අතහැර කලා සංස්කෘතික කටයුතුවල නිරතවනු දැකීම, එකාවන්ව තම අධ්‍යන සුභසාධන ගැටළු වෙනුවෙන් හඩනගනු දැකීම, නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් වූ අරගලයේ අප සමග එක පෙළට සිටගනු දැකීම අපේ බලාපොරොත්තුවයි. එසේ නොවී වැහැරෙමින් සිටින ජාතිවාදී ධනේෂ්වර දේශපාලන නායකයන්ට ඔක්සිජන් ලබාදීමට මෙම සහෝදර සහෝදරියන් පාවිච්චි කිරීමට ඉඩදිය නොහැක. යාපනයේ දැල්වුණු ගින්දරින් සුරුට්ටු පත්තුකරන්නට සිංහල දෙමල ජාතිවාදීන්ට ඉඩනොදී සියළු ආකාරයේ ජාතිවාදයන් පරදවමින් එම ගින්දර නිවා දැමිය යුතුව ඇත.