අප මිනිසුන්ය. මිනිසුන් තීරණ ගනු ලබන්නේ තමන්ට ඇසෙන දකින දේ අනූවය. පංචේන්ද්‍රියන් මගින් ග‍්‍රහණය කරගන්නා තොරතුරු මොළය මගින් විශ්ලේෂණය කිරීමෙන් තමාට යම් මොහොතක පවතින දැනුම හා නැවත අලූතින් අසන්නට දකින්නට දැනෙන්නට ලැබෙන දේ හා එක්කර තර්ක කිරීම මගින් අලූත් එළඹීම මිනිසා සිදුකරයි. මිනිසා අනෙක් සතුන්ගෙන් වෙන්වී ශ‍්‍රමය හෙළිය හැකි අදහස් හුවමාරු කරගත හැකි සමාජයක් ලෙස ජීවත් වෙන සත්වයකු ලෙස ඉදිරියට පැමිණ ඇත්තේ මිනිස් මොළයේ පවතින සුවිශේෂී ජීව විද්‍යාත්මක පැවැත්මක් හේතුවෙනි. එම සුවිශේෂී ජීව විද්‍යාත්මක සැකැස්ම නිසාම මිනිසාට මිනිසා යයි කියනු ලැබේ. වර්තමානය වන විට මිහිපිට ජීවත් වන්නේ එකම මිනිස් විශේෂයකට අයත් පිරිසක් පමණක් වන අතර එම මිනිස් විශේෂය ඔබ අප සියලූ දෙනාම අයත් වන හෝමෝ සේපියන් සේපියන් ලෙස නම් කර ඇත. අතතීතයේදී යම් යම් ආකාරයෙන් වෙනස් දේහ ලක්ෂණයන් ජීවත් වූ බව සඳහන් වේ. නමුත් අද මිනිස් කුලකයේ එවන් ප‍්‍රභේද නොමැති අතර ජීව විත්මකව සියලූම මිනසුන් සමාන මූලික සැකැස්මක් සහිතව උපදී. එබැවින් ලෝකයේ කොහේ කොතැනක වුවද සිටින මිනිසකු වුවද අප වැනිම මිනිසකු වන අතර ඔහුගේ හැඟීම් දැනීම් සිතුවිලි රටාව ආදී සියල් දේ ගොඩනැගෙන්නේ අප තුළ ඒවා ගොඩනැගෙන ආකාරයටමය.
විද්‍යාත්මක විශ්වයේ වසර බිලියන 13.7ක් පැරණි ඉතිහාසය තුළ අනන්ත ශක්තියක් මුදා හරිමින් සිදුවූ මහා පිපුරුමේ සිට ඉන් නිකුත්වූ ශක්තිය පදාර්ථ බවට පරිවර්තනය වීමත් එම පදාර්ථයන් සංයෝජනය වීමෙන් ග‍්‍රහලෝක තරු චක‍්‍රාවාට නිර්මාණය වීමත් එහිදී ජීවය නම් දේ හට ගැනීමට අවශ්‍ය ජලය හා සූර්ය ශක්තිය ආදී සාධක ඇති ස්ථාන වල ජීවය හට ගැනීමත් සිදු විය. එසේ හටගත් ජීවය පරිණාමය වෙමින් ඉදිරියට පැමිණි අතර එම පරිණාමයේ දියුණුතම අවස්ථාවක් ලෙස ඉහත කී සුවිශේෂී ජීව විද්‍යාත්මක මොළය සහිත මිනිසා නිර්මාණය වී ඇතැයි සැලකේ. විද්‍යාත්මකව බලන කල ස්වභාවය තුළ මිනිසා නිර්මාණය වූයේ ඒ ආකාරයට වන අතර එසේ මිනිසා නිර්මාණය වු සැනින් එතෙක් ලෝකයට සුපුරුදු අපූරු සිදුවීමක් සිදුවිය. එනම් එතෙක් ලෝකයේ වූ සියලූ සිදුවීම් පාලනය වූයේ ස්වභාව ධර්මයට අනූව වන අතර මිනිසා නිර්මාණය වූ සැනින් මිනිසා විසින් ස්වභාව ධර්මය වෙනස් කිරීමට පටන් ගැනීමයි. මිනිසුන් වන අප අද දිනය වන විට සතුන්ට මෙන් නොව සෑම අතකින්ම දියුණු වෙමින් පවතින්නේ එම ස්වභාව ධර්මය වෙනස් එය අපට අවශ්‍ය ආකාරයට සාදා ගැනීම තුළින්ය. ඒ ආකාරයට මිනිසා විසින් සෑම කල්හිම ස්වභාව ධර්මය තේරුම් ගනිම්න් හා එසේ තේරුම් ගන්නා දේ අනූව තමාට අභිමත ආකාරයට වෙනස් කරමින් ලෝකය ඉදිරියට ඇදේ. එසේ මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම සමස්ථයේ ශාරීරික හා මානසික අපහසුතා අවම කරන අන්දමේ ප‍්‍රතිසංස්කරණයන් පෙරටුගාමී පියවරයන් ලෙස සැලකෙන අතර මිනිසුන් කොටසකට හෝ සමස්ථයම අපහසුතා ඇතිවන ආකාරයේ පියවරයන් පසුගාමී මිනිස් ක‍්‍රියාකාරකම් ලෙස සරලව දැක්විය හැක.
මිනිසා සමාජීය සත්වයෙකි. එනම් තම වර්ගයේ තවත් අයෙකු සමග අධ්‍යාත්මික බැදීමක් ඇති කර ගත හැකි එකම සත්වයා මිනිසා වේ. මිනිස් වර්ගයාගේ අනාගත අභිවෘද්ධිය තකා වර්තමාන ක‍්‍රියාකාරකම් වල යෙදෙන එකම සත්වයා මිනිසා වී ඇත්තේ එබැවිනි. කපුටු වර්ගයාගේ ඉදිරි අභිවෘද්ධිය තකා වර්තමානයේ කුමක් හෝ කරන කපුටෝ නැත. ඌරන්ට එසේ කළ නොහැක. එසේ කළ හැකි තවත් සතෙකු සිටීනම් ඔහුද අනිවාර්යෙන්ම මිනිසෙකි. එසේනම් මිනිසා සතෙකුගෙන් වෙනස් වී මිනිසෙකු වන්නේ ඔහු තවත් මිනිසෙකුගේ යහ පැවැත්ම පිළිබඳ සිතන මට්ටම අනූව බව පෙනී යනු ඇත. මිනිස් සමාජයේ ඉදිරිමග යහපත්ද අයහපත්ද යන්න තීරණය වනුයේ ඒසේ සිතා සිදුකරන මිනිස් ක‍්‍රියාකාරකම් මතම පමණක් බව ද ඔබට පෙනී යනු ඇත.
අප ජීවත් වන වර්තමාන සලකමු. මිනිස් සමාජයේ ඉතාමත් ප‍්‍රාථමික අවධීන් වහල් සමාජ ක‍්‍රමය වැඩවසම් සමාජ ක‍්‍රම ආදී නොයෙක් අවධි පසු කරමින් වර්තමානයේ ජීවත් වන ක‍්‍රමය දක්වා පැමිණ ඇත. එසේ එක් එක් යුග වලදී මිනිසා තවත් ක‍්‍රමයෙන් වෙනස් වූයේ එකී ආකාරයට පෙරටුගාමී ප‍්‍රතිසංස්කරණයන් මිනිස් සමාජය විසින් තෝරා ගත් බැවිනි. එසේ පෙරටුගාමී ප‍්‍රතිසස්කරණයන් සිදුකිරීම සඳහා මිනිස් සමාජයේ සිටි සැබෑ අර්ථයෙන්ම මිනිසුන් මුල්වූ අතර ඔවුන්ගේ අනේක විධ අරගලයන් හා කැප කිරීම් මතින් ලෝකය යහපත් ආකාරයට වෙනස් විය.
ලෝකයේ වහල් සමාජ ක‍්‍රමය පැවති සමයේ සිටි පෙරටුගාමීන් එහිදී මිනිසාගේ සැබෑ මිනිස් ලක්ෂණ නැතිවී ඇති බව දුටුවෝය. එනම් එකම මිනිස් විශේෂයට අයත් වුවද එක් මිනිසුන් කොටසක් පමණක් නිදහසේ ලෝකය පරිහරණය කරන බවත් අනෙක් මිනිසුන් කොටසට ඔවුන්ගේ පරිහරණය සඳහා ඇති භාණ්ඩ ලෙස ජීවත් වීමට සිදුව ඇති බවත් දුටු ඔවුහු එම ක‍්‍රමය වෙනස් වී සෑම මිනිසෙකුටම නිදහසේ ලෝකය පරිහරණය කළ හැකි ක‍්‍රමයක් සාදා ගත යුතු බවත් විශ්වාස කළෝය. ඒ අනූව ක‍්‍රියාත්මක වූ එකල පෙරටුගාමීන් එම ක‍්‍රමය වෙනස් කිරීම සඳහා සැබෑ ලෙසම මානුෂීය අරගලයක යෙදී වහල් ක‍්‍රමය පෙරලා දැමුවෝය. ඉන්පසු සමස්ථයම පැවති මට්ටමට වඩා යම් නිදහසක් සහිතව ලෝකය පරිහරණය කළ හැකි වැඩවසම් සමාජ ක‍්‍රමය නිර්මාණය විය. නමුත් එසේ සාදාගන්නා ලද සමාජ ක‍්‍රමය ලෝකයේ අවසන් සමාජ ක‍්‍රමය නොවීය. එහිද අඩුපාඩු ඇති බවත් එහිදීද සමාන ලෙස ඉපදෙන මිනිසුන්ට විවිධ වර්ගීකරණයන් යටතේ විවිධ මට්ටම් වලින් ලෝක්ය පරිහරණය කිරීමට සිදුවී ඇති බවත් තේරුණු වැඩවසම් ක‍්‍රමයේ සිටි පෙරටුගාමී පිරිස් එයටත් වඩා සාධාරණ ආකාරයක් සෙවීම වෙනුවෙන් අරගල කරන්නට විය. ඒ ආකාරයට පැමිණි ඉතිහාසයක් සහිතව වර්ථමානය දක්වා මිනිසා ගමන් කර ඇත. එනම් වඩ වඩාත් යහපත් සමාජක‍්‍රම සොයමින් පැමිණි අප දැන් ධනේෂ්වර ක‍්‍රමය නම් සමාජ ක‍්‍රමය වඩාත්ම යහපත් සමාජ ක‍්‍රමය ලෙස තෝරාගෙන ජීවත් වෙම්න් සිටින්නෙමු.
එය එසේ නම් අප වර්තමානයේ ජීවත් වන මිනිසුන් ලෙස අපගේ කාර්යභාරය කුමක්දැයි යන්න පිළිබඳව සොයා බලමු. පෙරකී සමාජ අරගලයන්ගේ ප‍්‍රථිඵලයක් ලෙස අපට දැන් අතීතයේ තිබූ සියලූ සමාජ ක‍්‍රයන්ට වඩා වැඩි නිදහසකින් යුතුව ලෝකය පරිහරණය කිරීමේ අවස්ථාව ලැබී ඇත. අන් කවරදාටත් වඩා සමාජය තුළ මානව අයිතීන් ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආදී වූ දේ ගැන කතා වෙමන් පවතී. බැලූ බැල්මට මිනිසාට පූර්ණ නිදහසක් ඇත්තා සේ පෙනේ. නමුත් අප හොඳින් ඉතිහාසය අධ්‍යනය කර බැලූවහොත් මිනිසාගේ සමස්ථ ගමන් මාර්ගය ගෙන බැලූවහොත් පැහැදිලි වන කරුණු වන්නේ මිනිස් සමාජයේ ගමන මෙම සමාජ ක‍්‍රමය අවසන් සමාජ ක‍්‍රමය ලෙස භාරගෙන අවසන් නිගමනයකට පැමිණ ඇති බවයි. මදක් සිතා බලන්න. මිනිසා බිහිවීමට පෙර පරිණාමන අවධීන්හී සිටි සත්වයන් ලෝකයට අයිති විය. නමුත් මිනිසා බිහිවූ සැනින් මිනිසා යන සත්වයා ලෝකයට අයත් වන ප‍්‍රමාණයටම ලෝකයද මිනිසාට අයත් විය. එසේ හෙයින් ලෝක්ය පරිහණය කිරීම සඳහා සෑම මිනිසෙකුටම සමාන අයිතියක් ලැබෙන දිනකදී පමණක් මිනිස් සමාජයේ ගමන ඒකාකාරී රටාවකට පැමිණිය යුතු නොවන්නේද? වර්ථමානයේ එසේ සෑම මිනිසෙකුටම ලෝකය සමානව පරිහරණය කළ හැකි හැකියාවක් පවතීද? සැබවින්ම නැත.
මදක් සිතා බලන්න. වත්මන වන විට ලොව ධනවත්ම පවුල් 10 ලෝකයේ සම්පත් වලින් හරි අඩකට ආසන්න ප‍්‍රමාණයකට හිමිකම් කියති. සියලූම සම්පත් මුදල් මත මිල කර වටිනාකමක් නියම කර ඇති ලෝකයේ මුදල් වලින් හරි අඩක් පමණ පවතින්නේ ලොව ධනවත්ම මිනිසුන් 10 දෙනෙකු පමණ අතේය. එබැවින් ලෝතයේ හරි අඩක් පමණ අප මෙන්ම ජීව විද්‍යාත්මක සැකැස්මක් සහිත අප මෙන්ම ඉතිහාසයක් ඇති මිනිසුන් 10 දෙනෙකු පමණ භුක්ති විඳී. එය එසේ පවත්ද්දී තමාට ලෝකයෙන් අංශු මාත‍්‍රයක කොටසක් තබා තම ශරීරයවත් අයත් නැති මිනිසුන් කෝටි ගණනක් වෙසෙති.
ඒ ආකාරයට වර්තමානය වන විට මිනිසුන් සැලකීමේදී එකිනෙකා ලෝකයට අති විශාල විශමතාවයක් සහිත අයිතිවාසිකම් දරමින් ජීවත් වෙති. මෙම ලිපිය ලියන මා ඔබව ප‍්‍රශ්ණ කරමි. එසේ ඒ ලෙස අප ජීවත් වන ක‍්‍රමය හරිද? ලෙස යන්නයි. මා හට සිතෙන ආකාරයට නම් එහි බරපතල වැරුද්දක් පවතී. එම වැරුද්ද නම් මිනිසුන් ලෙස අපට වහල් යුගයට පෙර ප‍්‍රාථමික සාමූහික සමාජයේදී සිදුවූ ඓතිහාසික වැරුද්දකි. එනම් මිනිසා නොදියුනු අසංවිධානාත්මක අවධියේදී කැලෑ තුළ ජීවත් වූ නොදියුනු ගෝත‍්‍රයන්ගේ යම් යම් දියුණු දඩයම් උපකරණ ආදිය නිපදවාගත් ගෝත‍්‍රයන් විසින් එසේ දියුණුවක් නොලැබූ ගෝත‍්‍රයන් යටපත් කරගැනීම නිසා සිදුවූ වරදය. එසේ දියුණු මිනිසුන් විසින් නොදියුණු මිනිසුන් බලහත්කාරයෙන් යටපත් කරගැනීමේ වරදය. ඒ ආකාරයට වහල් යුගයට පාර කැපීමේ වරදය. එබැවින් දැන් ඉතාමත් දියුණු යැයි කියනා මානවයා විසින් එම ඓතිහාසික වැරුද්ද නිවැරදි කර ගත යුතුව තිබේ. මන්ද එසේ මිනසෙකු විසින් තම මිනිසෙකුට ලෝකයට වූ අයිතිය අහෝසි කර එය තම වරප‍්‍රසාදයක් කර ගැනීම තුළ අද දවසේ පෙරකී ලෝකය සඳහා වූ අයිතියේ දැවැන්ත විෂමතාව ගොඩනැගී ඇති බැවිනි.
අද දවසේ අප මුහුණ දී ඇති සියලූ පීඩාවන්ට මූලික වූ හේතුව මෙම විෂමතාව බව තවදුරටත් කල්පනා කරන්නේ නම් ඔබට පැහැදිලි වනු ඇත. එසේ නම් මෙම ක‍්‍රමය වෙනස් නොකර තවදුරටත් පවත්වා ගැනීම යනු පසුගාමී ක‍්‍රියාවක් බව පැහැදිලි වනු ඇත. වහල් යුගයේ සිටි පෙරටුගාමීන් වහල් යුගය පෙරලා දැමුවා සේ වැඩවසම් යුගයේ සිටි පෙරටුගාමීන් වැඩවසම් යුගය පෙරලා දැමුවා සේ අද පවතින ධනේශ්වර යුගයද පෙරලා දැමීමට අද දවසේ පෙරටුගාමීන් ඉදිරිපත් විය යුතුය. එසේ ඉදිරිපත් විය යුතු පෙරටුගාමීන් යනු වෙනත් කිසිවෙකු නොවේ. ඒ ඔබය. ඒ මාය. ඒ අපිය. ඒ නිසා අද දවසේ අප සැබෑ මිනිසුන් නම් අප සියල්ලන්ම පෙරටුගාමීන් විය යුතුය.
එන්න අපි ලෝකය වෙනස් කරමු.