ඉල්ලීම් කිහිපයකට විසදුම් ඉල්ලා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් පා ගමනක්

ශිෂ්‍ය භිකෂූ මර්දනය වහා නවතන ලෙසත්  , අධ්‍යයන සුභසාධන ගැටළු වහා විසදන ලෙසත්  , දේශපාලන අතපෙවීම් වහා නවතන ලෙසත් , තහනම් කරන ලද මහා ශිෂ්‍ය සංගමය වහා ලබා දෙන ලෙසත්  යන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්  අද (27) ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය භික්ෂු  ක්‍රියාකාරී කමිටුව විසින්  උද්ඝෝෂණ පා ගමන විශ්වවිද්‍යාල භූමියෙන් ආරම්භ කර හෝමාගම නගරය දක්වා පැවැත්විය.

2011 වසරේදී මහා ශිෂ්‍ය සංගමය තහනම් කර දැඩි ශිෂ්‍ය මර්ධනයකට ලක් කල පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය මේ වන විට දැඩි ලෙස අර්බුදයට ලක්ව ඇත. 

එහිදී අදහස් දැක්වූ එම අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂූ බලමණ්ඩලයේ කැදවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමි
අද බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට විශේෂ දවසක් 2011 වසරෙන් පසුව තම අයිතීන් වෙනුවෙන් විශ්ව විද්‍යාල භික්ෂූන් පාරට බැහැපු පළමු දවස අද ඒ නිසා අද ඓතිහාසික දවසක් වෙනවා. ඒ වගේම මේ අද රැස්වෙලා ඉන්න ස්වාමීන්වහන්සේලා වැඩබල සේනාවෙවත්, පාවෙනා බලයෙවත්, සිංහල රාගය වගේ සංවිධාන වල ඉන්න හාමුදුරුවරු නෙමෙයි මේ ඉන්නේ, ගමේ පන්සලේ බන කියන, දහම්පාසලේ උගන්වන, පාසැල්වල ස්වේච්ඡාවෙන් උගන්වන හාමුදුරුවරු තමයි මේ ඉන්නේ.
පාලි විශ්ව විද්‍යාලයේ පවතින ගැටළු පිළිබද පරිපාලය දැනුවත් කිරීමට ලියුම් දුන්නා, සාකච්ඡා ඉල්ලුවා ඒ අනුව සාකච්ඡා කලා, ආණ්ඩුවට සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ලියුම් යැව්වා, අද වෙන තුරු කිසිදු ප්‍රතිචාරයක් නැහැ. තවදුරටත් තමන්ගෙ අයිතීන් ටික පැත්තකින් තියාගෙන සැතපිලා ඉන්නෙ නැතුව පාරට බහින්න ශිෂ්‍ය භික්ෂූන්ට සිදුවෙලා තිබෙනවා. මහමග මේ ගැටළු විසදගන්න බැරිවුනොත් අපිට සිදුවෙනවා තවත් තැන් දෙකකට මේ විදියට යන්න. එකක් තමයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ඒ වගේම හතර පෝයට සිල් අරං හතරගාතෙ දාල වදින මහරාජය කියන මහින්ද ව්‍යාජපක්ෂගෙ ගෙදරටත් මේ ප්‍රශ්ණෙ කියන්න අපි යනවා.
අද ශිෂ්‍ය භික්ෂුවක් පාලි භෞද්ධ විශ්ව විද්‍යාලයට අයදුම් කර සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුනහම සිසු භික්ෂුව එක් කාමරයකත් තවත් කාමරයක ලොකු හාමුදුරුවන්වත් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනවා, ලොකු හාමුදුරුවන්ගෙන් අහනවා ගෝලයා මොන පක්ෂයේද, කැරළිකාරයෙක්ද, විප්ලවවාදියෙක්ද කියලා. මෙන්න මේ වගේ අමන පරිපාලනයක් තමයි එස්බී දිසානායක මහත්මයා මේ විශ්ව විද්‍යාලයට පත් කරල තිබෙන්නේ.
මේ අමන පාලකයොත් එක්ක ගණුදෙනු කරන හැටි අපි හොදට ඉගෙන ගෙන තිබෙනවා. ඒ නිසා උන්දැලාගෙ කන් ඇහෙන්න, ඇස් ඇරෙන්න මේ සද්දෙ මදිනම් ඉදිරියේදී විශ්ව විද්‍යාල සියල්ලම එකතු කරගෙන මේ සටන අපි කරනවා.
ගැටළු ගැන කියන්න පාරට බහින හාමුදුරුවරුන්ව මර්ධනය කරන්න හමුදාවෙන්, පොලිසියෙන් දාල ඒ වැඩ කරනවට වඩා මේ හාමුදුරුවරුන්ගේ ප්‍රශ්ණ ටික අහල විසදුම් ලබා දෙන එක බොහොම සරල වැඩක්. ඒ සදහා බලධාරීන් ප්‍රවිශ්ඨයක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>