ඛනිජ තෙල් සේවක වෘතීය ක‍්‍රියාමාර්ගයට එරෙහිව ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන මර්දනය සම්බන්ධවයි.

  


2017.07.26   

             ඛනිජ තෙල් සේවක වෘතීය ක‍්‍රියාමාර්ගයට එරෙහිව ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන මර්දනය සම්බන්ධවයි.

     හම්බන්තොට වාරයේ තෙල් ජැටිය චීන සමාගමකට විකිනීම නවතන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඛණිජ තෙල් සේවකයන් ජුලි 24 වන දින අඛණ්ඩ වැඩවර්ජන ක‍්‍රියාමාර්ගයකට අවතීරණය වේ.එම අඛණ්ඩ වැඩ වර්ජනය අද(26*වන විටත් ක‍්‍රියාත්මක වන අතර එම වෘතීය ක‍්‍රියාමාර්ගය සම්බන්දයෙන් ආණ්ඩුව මර්දනකාරී පියවරයන් අනුගමනය කරමින් සිටී.

    හම්බන්තොට වාරයේ තෙල් ටැංකි සංකීර්ණය චීන සමාගමකට විකිණීම

    ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි පුද්ගලීකරණය කිරීම 

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය නොකිරීම 

                                                  යන කරුණු මුල්කරගෙන මෙම වෘතීය ක‍්‍රියාමාර්ගයට එළඹීමට ඛනිජ තෙල් වෘතීය සමිති එකමුතුව තීරණය කල අතර එම තීරණය ගැනීමට පෙරාතුව රජය සමග සාකච්චා කිහිපයක්ම පැවැත්වූ අතර ඒවා අසාර්ථක වී ඇත.එමෙන්ම අඛණ්ඩ වැඩවර්ජනයට පෙරාතුව උද්ඝෝෂණික ක‍්‍රියාමාර්ග සහ සංකේත වැඩවර්ජන ක‍්‍රියාමාර්ග ගනිමින් ආණ්ඩුවට අනතුරු ඇගවීම් කර තිබිණි.එහෙත් එම කිසිවක් සැලකිල්ලට නොගනිමින් ප‍්‍රශ්නය විසඳීමට කිසිදු උත්සහයක් නොගත් ආණ්ඩුව මෙම වැඩවර්ජන ක‍්‍රියාමාර්ගය හරහා ජනතාවට සිදුවන සියලූම ආකාරයේ පිඩාවන්ට වගකිව යුතුය.

          සේවකයන්ගේ ඉල්ලීම් වලට කන් නොදී ගැටලූව උග‍්‍ර වන තෙක් කල්මරමින් සිටි ආණ්ඩුව දැන් එම බලවේග වෙත මර්දනය කැඳවා ඇත.ඉන්ධන සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන අතර වර්ජනයේ නිරත සේවකයන් සේවයෙන් හැර ගියා සේ සලකමින් ඉන්ධන බෙදාහැරීම සඳහා හමුදාව යොදා ගැනීමට ආණ්ඩුව උත්සහ ගනිමින් සිටී.මේ මොහොත වන විට වෘතීය සමිති නායකයන් ඇතුළු වර්ජනයේ නිරත සේවකයන් කිහිපදෙනෙකු සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

             ආණ්ඩුවේ නවලිබරල් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට අභියෝග කල සෑම බලවේගයකටම එරෙහිව මර්දනය කැඳවීමට ආණ්ඩුව පසුබට වන්නේ නැත.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තම ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව අරගල කල බලවේගවලට එරෙහිව දැවැන්ත මර්දනයක් ක‍්‍රියාත්මක කෙරිණි.රතුපස්වල පිරිසිදු පනිය ජලය ඉල්ලා කල අරගලයට මර්දනය කැඳවීම,ඉන්ධන සහනාධාර ඉල්ලා සටන් කල ධිවර උද්ඝෝෂණයට පහරදී ධිවට ඇන්ටනි ඝාතනය කිරීම,කටුනායකදී රොෂේන් චානක ඝාතනය කිරීම මෙන්ම ජනක බණ්ඩාර ඒකනායක,සිසිත ප‍්‍රියංකර යන ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් දෙදෙනා ඝාතනය කිරීමද ඒ සඳහා උදාහරණයි.එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වය පාවිච්චි කරමින් ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන බවට වේදිකාවල පොරොන්දු වෙමින් බලයට පැමිණුනු රනිල් මෛත‍්‍රී ආණ්ඩුවේද මර්දනිය ප‍්‍රතිපත්තිය වෙනසක් නැත.

      සටන් කරන සියලූ බලවේග වෙත එම මර්දනය කිසිදු වෙනසක් නැත.තමන්ගේ ජිවිත කුණු ගොඩවල් වලට යට නොකරන ලෙස පවසමින් තම නිවෙස් අසලට කුණු බැහැර කිරීමට විරෝධය පලකල ජනතාවට ආණ්ඩුවේ ප‍්‍රතිචාරය ඉන්ධන සේවකයන්ට දැක්වූ ප‍්‍රතිචාරයට කිසිදු වෙනසක් නැත.කුණු බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් ගැසට් නිවේදනයක් ජනපති අත්සනින් නිකුත් කර පසුව ඊට එරෙහිවන ජනතාව මර්දනය කිරීම ආරම්භ කළේය.ඉන්ධන සේවකයන්ගේ අරගලයටද ආණ්ඩුවේ ප‍්‍රතිචාරය ඉන් කිසිදු වෙනසක් නොවිය.

                  ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන මර්දනයට වගේම තම ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් අරගල කරන  ඕනෑම පාර්ශවයකට එරෙහිව ආණ්ඩුව සිදුකෙරෙන මර්දනයන්ට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය කොන්දේසි විරහිතව මැදිහත්වන අතර ඛනිජ තෙල් සේවකයන්ගේ වෘතීය ක‍්‍රියාමාර්ගයට එරෙහිව දියත්කරන මර්දනය නවතා අදාල ගැටළු විසඳීමට වහාම මැදිහත්වන ලෙසට ආණ්ඩුවට අවධාරයන කරන අතර මෙම අත්අඩංගුවට ගැනීම් වලට සහ මර්දනයට එරෙහිව ඉදිරි දිනවල උද්ඝෝෂනික ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණය වීමටද අප සුදානමෙන් සිටින බවද දැනුම් දෙමු. 


මාධ්‍ය ඒකකය 

අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>